EA Info

2022.10.05 – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු 12 අද (5) දිනයේදී ද කැඳවන ලදී

2022.10.05 – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු 12 අද (5) දිනයේදී ද කැඳවන ලදී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හා සබැඳි SCFR 163/2019 ඇතුළු මුලික අයිතිවාසිකම් නඩු 12 අද (5) දිනයේදී ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සත් දෙනෙකු ඉදිරියේ කැඳවන ලදී.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නවාන මහතා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් නීතිවිරෝධී (සාපරාධි) නොකර හැරීම (illegal omisson) හා රාජ්‍ය වගකීම (State liablity) සම්බන්ධයෙන් කරුණු දක්වන ලදී. එහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 107 වගන්තියෙහි මැදිහත් වී ක්‍රියා කරනු ලැබීම (interpose) යන්න සම්බන්ධයෙන් කරුණු දක්වන ලදී. මෙහිදී අපරාධ නඩු සම්බන්ධ මූලධර්ම මෙම මූලික අයිතිවාසිකම් නඩුවට අදාළ වන ආකාරය (අදාළ කළ යුතුද යන්න) පිළිබඳව අධිකරණය විසින් විමසන ලද අතර එහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පිළිතුරු දෙමින් සාපරාධි වගකීම හා සබැඳිව එය අදාළ වන බව දක්වන ලදී. මේ සම්බන්ධයෙන් පූර්වාදර්ශ තිබේ දැයි අධිකරණය විමසු අවස්ථාවේදී, රාජකාරි පැහැරහැරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් වල සලකා බලා ඇති බවට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පිළිතුරු දෙන ලදී. එමෙන්ම රාජ්‍යය මේ සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය දක්වමින් රාජ්‍යයද මෙහි වින්දිතයකු බවටත් මෙහි වගකීම් ඇත්තේ අදාළ නිලධාරීන්ට බවටත් කරුණු දක්වන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් සහ 46,47,50,53 යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් යම් පමණක කරුණු දැක්වීම් කරන ලදී.

අනතුරුව ගරු අගවිනිසුරුතුමන් විසින් සියලු පාර්ශවයන්ට සති තුනක් ඇතුලත ලිඛිත දේශන ගොණු කළ හැකි බවටත්, අනතුරුව තීන්දුව ලබා දෙන බවටත් දැනුම් දෙන ලදී.

Leave a Reply