EA Info

2023.04.21- පාස්කු ප්‍රහාරයට සිව් වසරයි

2023.04.21- පාස්කු ප්‍රහාරයට සිව් වසරයි

 

පාස්කු ප්‍රහාරයට සිව් වසරයි
ප්‍රහාරය ගැන විමර්ශන ජාත්‍යන්තර අධිකරණයට

පාස්කු ප්‍රහාරය සිදුවී අදට (අප්‍රේල් 21) සිව් වසරකි. එහෙත් කිසිදු සැකකරුවකු හෝ පොලිස් නිලධාරියකු මේ දක්වාම දඬුවම් ලබා නොමැත.

පාස්කු ප්‍රහාරයේ සිදුවීම් මෙසේය.

  1. ඉන්දීය බුද්ධි අංශ සිව්වතාවක්ම මෙරට බුද්ධි ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධනට අනතුරු අඟවා ඇතත් ඔහු ඒ ගැන තැකීමක් කර නැත.
  2. නිලන්ත ජයවර්ධන ඊට අදාළව තම පරිගණකයේ තිබූ සටහන්ද මකාදමා තිබේ.
  3. ජාතික ආරක්‍ෂක මණ්ඩලය පවා රැස්වී නැත.
  4. නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය ගැන රජයේ බලධාරීන්ට දන්වා නැත.
  5. සහරාන්ගේ ජංගම දුරකථනයේ මදර් බෝඩ් ඇමරිකානු එෆ් බී අයි පොලිසිය වෙත මෙරට රහස් පොලිසිය බාරදීම.
  6. රුසියානු බලධාරීන් පාස්කු ප්‍රහාරයට අයිසිස් සංවිධානය සම්බන්ධ බව මෙරටට වාර්තා කළත් රහස් පොලිසිය නිහඬවීම.
  7. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් අත්අඩංගුවට ගැනීමට කල්තියා කටයුතු නොකිරීම.
  8. ප්‍රහාරයක් සිදුවන බවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විශේෂ කාර්ය බළකායට අනතුරු අඟවා තිබියදී එම බළකායේ ප්‍රධානියා මහකොමසාරිස් කාර්යාලයට පමණක් ආරක්‍ෂාව යෙදවීම.
  9. ප්‍රහාර එල්ල වන බවට වාර්තා වූ දේවස්ථාන ගැන පොලිස් බුද්ධි ප්‍රධානියා නොදැනීම.
  10. සහරාන් පසුපස හඹාගිය පොලිස් ප්‍රධානියකු මාරු කිරීම.
  11. සහරාන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස රජයේ බලධාරියකු පොලිසියට නියෝග කිරීම.
  12. පල්ලිවලට ප්‍රහාර එල්ල වන බවට දැක්වෙන අනතුරු ඇඟවීම කොළඹ පොලිස් නිලධාරියකු වෙනස් කිරීම.
  13. බි්‍රතාන්‍ය මෙට්රෝපොලිටන් පොලිසියද පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කිරීම.
  14. ශ්‍රී ලංකාවේ රහස් පොලිසිය පාස්කු ප්‍රහාරයට අයිසිස් සබඳතාවය ගැන සිරියාව – තුර්කිය සහ රුසියානු බුද්ධි සේවාවලින් තොරතුරු ලබා ගැනීමට ක්‍රියා නොකිරීම.
  15. අයිසිස් සංවිධානයට අරමුදල් සැපවූවකු කටාරයේදී අත්අඩංගුවට ගැනීම.
  16. ආරක්‍ෂක අංශවල අක්‍රීය බව හෙළිවීම.
  17. පාස්කු ප්‍රහාරය ගැන හමුදා බුද්ධි සේවාව නොදැන සිටීම.
  18. හමුදා බුද්ධි සේවාවේ 4000 ක් සිටියත් කිසිවෙක් ප්‍රහාරයන් ගැන නොදැන සිටීම.

මෙයට අමතරව පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ ක්‍ෂණික ප්‍රහාර බළකායක් ස්ථාපිත වී නොසිටි බව වාර්තා විය.

මේ හැර පුත්තලම වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය තිබූ පොල්වත්ත භාරව සිටි සැකකරුද මෑතකදී නිදහස් විය. ඊට අමතරව සාරා ජස්මින් මියගිය බව ඩී.එන්.ඒ. පරීක්‍ෂණයකින් තහවුරු වූයේ යයි පොලිසිය මෑතකදී ප්‍රකාශ කර තිබිණි. මේ තත්ත්වය මත පාස්කු ප්‍රහාරය පිළිබඳව බරපතළ සැක මතුවී තිබේ. මෙම ප්‍රහාරයට සිව් වසරක් ගතවන අවස්ථාවේ කතෝලික පල්ලිය ජිනීවා මානවහිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේය.

එම පැමිණිල්ලේ සඳහන් වූයේ වහාම ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙසයි. මෙම පාස්කු ප්‍රහාරය සිදුවන සමයේ පොලිස්පති වූයේ පූජිත් ජයසුන්දරය. ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුය. බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනය. ඔවුහු මේ දක්වාම නිරුපද්‍රිතව සිටිති.

එසේනම් වරදකරුවෝ පල්ලි ගිය බැතිමතුන්ද?

මේ හැර මුස්ලිම් ජන්ද නිසා සහරාන් ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගැනීමෙන් රජය වැළකී සිටි බව තහවුරු වේ. පාස්කු ප්‍රහාරයට පෙර මෙරටින් අයිසිස් ක්‍රියාකාරීන් තුර්කිය හරහා සිරියාවට ගිය බවට අධිකරණ ඇමැතිවරයා පැවසුවත් මුස්ලිම් සංවිධානයක ප්‍රධානියා මෙන්ම මුස්ලිම් දේශපාලනඥයකු ඊට එරෙහිවී එය බොරුවක් බවට පළ කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව අධිකරණය මගින් හිටපු ජනපති ඇතුළු කීපදෙනෙකුට වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස නියම කිරීමේ සිද්ධිය මෑතකදී සිදුවිය.එහෙත් 600 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවේ පසුවිය. ඔවුන්ට මෙතෙක් දඬුවම් ලැබී නැත. ආරක්‍ෂ අමාත්‍යාංශය පැවසුවේ සැකකරුවන් පුනරුත්ථාපනයට ලක්කරන බවයි.

මෙම බිහිසුණු පාස්කු ප්‍රහාරය හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂගේ මෙහෙයුමක් බවටද ප්‍රචාරය විය. දැන් එම ප්‍රචාරය යටපත් වී ඇත. ඊට හේතු වූයේ ජනපති ධුරය රැක ගැනීමට පවා නොහැකි වූ ගෝඨාභයට පාස්කු ප්‍රහාරයක් මෙහෙයවීමට හැකි ද යන්නයි.

පාස්ක ප්‍රහාරය ගැන ත්‍රස්ත මර්දන නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණත් දේශපාලන බලපෑම් නිසා මුස්ලිම් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ඇතැම් සාක්‍ෂිවලින් හෙළි විය. එසේම සැකකරුවන් හඳුනා ගැනීමට ජපානය ලබාදුන් අධි තාක්‍ෂණික රථය පවා භාවිත කිරීමෙන් වළකින ලෙස ත්‍රස්ත මර්දන ඒකකයට නියෝග ලැබී තිබිණි.

මේ හැර කටුනායකදී අසුවූ අයිසිස් ක්‍රියාකාරියකු නිදහස් කර ඇතැයි ද අනාවරණය විය. මේ සිදුවීම් වලට සම්බන්ධ නිලධාරීහු අදත් සේවය කරති. මෙය අතිශයින්ම කනගාටුදායක තත්ත්වයකි. පාස්කු ප්‍රහාරයේ දෝංකාරය මැකී නැත. එය මෙහෙයවූවෝ කවුරුන්ද? කතෝලික සභාව මිස කිසිම දේශපාලඥයකු මේ ගැන ප්‍රශ්න කිරීමක් සිදුකර නැත. පාස්කු ප්‍රහාරයට ගොදුරුවී බරපතළ තුවාල ලැබුවන් අදටත් ප්‍රතිකාර ලබති. මේ අහිංසකයන්ට යුක්තිය අද වනතෙක් ඉටු වූයේද?

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් කතෝලික ජනතාව ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට මුල්වූ හේතුන් කුමක්ද?

සංචාරක හෝටල් 4 ක් හා පල්ලි තුනක් බෝම්බකරුවන්ගේ ඉලක්ක විය. එසේම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පමණක් ආරක්‍ෂාව යොදවා පල්ලි සහ හෝටල්වලට ආරක්‍ෂාව යෙදවීමට විශේෂ කාර්ය බළකාය ක්‍රියා නොකළේ මන්ද? මේ හැර ටාජ් හෝටලයට ගිය බෝම්බකරුවෙක් ඉන් පිටව යන අයුරු දක්නට ලැබිණි. මේ අතර දෙහිවල ශාන්ත මේරි දෙව්මැඳුරට තමා ආරක්‍ෂාව යෙදවූ බව පොලිස් ප්‍රධානියෙක් පැවසුවත් එය බොරුවක් බව පසුව හෙළි විය.

පොලිස් නිලධාරීන් රැසක් පාස්කු ප්‍රහාරයේදී බොරු කළ බව සාක්‍ෂි වලදී තහවුරු විය. මේ පසුබිම මැද පාස්කු ප්‍රහාරයකයන්ට දඬුවම් හිමිවේද?

අධිකරණ ආරංචි මාර්ග වලට අනුව ප්‍රහාරකයන්ට චෝදනා 23000 කට අධික සංඛ්‍යාවක් එල්ල වී ඇත. එම චෝදනා මත නඩුව විභාග කිරීමට වසර කීයක් ගතවේද? කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුර, මීගමුව කටුවාපිටිය දෙව්මැඳුර, මඩකලපුව සියොන් දෙව් මැඳුර යන පල්ලිවලට මෙම ප්‍රහාරය එල්ල විය.

මේ අතර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙලෙස ප්‍රකාශ කර ඇත.

සහරාන් හෂීම් අන්තවාදීයකු මිස ත්‍රස්තවාදියකු යයි බුද්ධි සේවා ප්‍රධානි නිලන්ත ජයවර්ධන තමාට පැවසුවේ නැහැ. එහෙත් නිලන්ත ජයවර්ධන එම ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කර තිබේ. එසේම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා දුන් තොරතුරේ සහරාන්ගේ ප්‍රහාරයක් විය හැකි යයි නිශ්චිත බවක් තිබුණේ නැති බවයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පළකළේ පාස්කු ප්‍රහාරය වනවිට රටේ ආරක්‍ෂාව බිඳවැටී තිබුණු බවයි. ඒ බව තමා පිළිගන්නා බව ද ඔහු කීවේය. හිටපු බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු බුද්ධි අංශ රැස්වීමේදී සාකච්ඡා නොකළ බවයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කළ ප්‍රකාශය මෙසේය. නිලන්ත ජයවර්ධන වැඩ කළේ කණ්ඩායමක් ලෙස නොවෙයි. මුස්ලිම් අන්තවාදීන් ගැන පරීක්‍ෂණ සියල්ල නතර කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන තමාට පැවසූ අතර ඒ ගැන පරීක්‍ෂණ නිලන්ත ජයවර්ධන කරන බව ද ඔහු තවදුරටත් පැවසීය. විශ්‍රාමික විනිසුරු අබ්දුල් ගපූර් කීවේ අයි එස් අන්තවාදීන් ගැන තමා අනතුරු ඇඟවූ බවත් සාගල රත්නායක කිසිදු දෙයක් කළේ නැති බවය.

පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන කොමිසම හමුවේ සාක්කි දුන් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ කළමනාකරු සනුන් මොහොමඩ් හෙළි කළේ බෝම්බය පුපුරවාගත් ඉන්සාෆ් අහමඩ් දෙදිනකදී තඹ කම්හලේ ගිණුමෙන් ලක්‍ෂ 394 ක් ලබාගත් අයුරුයි. මෙම ප්‍රහාරය වැළැක්වීමට නිසි පියවරක් නොගැනීමේ බරපතළ චෝදනාව එල්ලවන්නේ බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනටයි.

2019 අප්‍රේල් 4 වනවිට නිලන්ත ජයවර්ධනට ඉන්දීය බුද්ධි සේවාවෙන් සහරාන් ඇතුළු පිරිස ගැන ඔත්තුව ලැබී තිබිණි. ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය ඔත්තුකරුවකු ගෙන් ද ඊට සමාන ඔත්තුවක් ලැබී ඇත. ඉන්දීය බුද්ධි සේවාව ප්‍රහාරයට අදාළ අයගේ නාම ලේඛනයක් ද ඔහුට ලබාදී ඇත. එහෙත් අප්‍රේල් 20 දා රාත්‍රී වනතුරු නිලන්ත කිසිම පියවරක් ගත්තේ නැත. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් අයෙක් නම් අහමඩ් ලෙබ්බේය. මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටි ඔහු වෙබ් අඩවි 2ක් ද පවත්වාගෙන ගියේය. එහෙත් මේ ගැන විමර්ශන සිදුවී නැත.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය වනවිට ආරක්‍ෂක ව්‍යුහය මුළුමනින්ම බිඳවැටී තිබූ අතර කිසිදු නිලධාරියෙක් ඒ බව රජයේ බලධාරීන්ට හෙළිර නැත.

කීර්ති වර්ණකුලසූරිය

Source- divaina.lk

Leave a Reply