EA Info

2023.09.07- චැනල් 4 : සියල්ල කියවන්න!!

2023.09.07- චැනල් 4 : සියල්ල කියවන්න!!
  1. අන්තර්ගතය හොයන්න රනිල්ගෙන් කමිටුවක්
  2. පාර්ලිමේන්තු කමිටු නෑ – බන්දුල
  3. මේක විශ්වාස කරනවද ? – නාමල්
  4. චැනල් 4 සම්පූර්ණ වාර්තා චිත්‍රපටයේ සාරාංශගත පිටපත
  5. මගේ පවුලටත් තර්ජනයක් – සලෙයි
  6. මම හිටියෙ බන්ධනාගාරයේ – පිල්ලෙයාන්
  7. කාදිනල් හිමිගේ සම්පූර්ණ කතාව

අන්තර්ගතය හොයන්න රනිල්ගෙන් කමිටුවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව පළකළ වීඩියෝවේ අන්තර්ගතය ගැන සොයාබැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත්කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එම කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීම සඳහා ලංකාවට පැමිණීමට නොහැකි නම්, සූම් ඔස්සේ සාක්ෂි ලබාදිය හැකි බව ද ඔහු එහිදී පැවසීය.

කෙසේ වෙතත් කමිටුවක් පත්කිරීමේ තීරණයක් හෝ නිශ්චිතව ගෙන නැති පසුබිමක් තුළ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇමතිවරයා අදහස් දක්වා තිබේ.

පාර්ලිමේන්තු කමිටු නෑ – බන්දුල

චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පිහිටුවීමේ හෝ ඒ ගැන සාකච්ඡා කිරීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි. මනූෂ නානායක්කාර ඇමතිවරයා මුලින්ම සඳහන් කර තිබුණේ එවැනි කාරකසභාවක් පිහිටුවන බවයි.  

මේක විශ්වාස කරනවද ? – නාමල්

රාජපක්ෂ පවුලට මෙහිදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේය.

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවලා පාස්කු ප්‍රහාරයට අවුරුද්දකට කලින් අපි ප්‍රාදේශීය සභාවලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරනවා. ඒ නිසා අපිට තුන්වැනි පාර්ශවයක් හෝ ප්‍රතිපත්තිවලින් එහාට ගිහින් මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අවශ්‍යතාවක් තිබ්බේ නැහැ. අද චෝදනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒක පාවිච්චි කළා, ඒ සඳහා බුද්ධි අංශ එක්ක එකතුවෙලා සැලසුම් කළා කියලා. මෛත්‍රිපාල සිරිසේනගේ වේදිකාවේ හිටපු කෙනා, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටපු කෙනාගේ පුතා, මුජීබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දී ආරක්ෂා කරපු කෙනා රාජපක්ෂවරයෙක් බලයට ගේන්න තමන්ගේ ජීවිතය නැති කරගත්තා කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි.’

චැනල් 4 සම්පූර්ණ වාර්තා චිත්‍රපටයේ සාරාංශගත පිටපත

චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද ‘Sri  Lanka’s Ester Bombing Dispatches’ නම් වාර්තා චිත්‍රපටයේ සම්පූර්ණ සාරාංශයක් පහත පළ වේ.

වැඩසටහන ආරම්භයේදී පාස්කු ඉරිදාව සහ ප්‍රහාරයේ වින්දිතයෙකුගේ අදහස් පළකිරීමක්, ප්‍රහාරයේ වීඩියෝ දර්ශන, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි මෙන්ම නීතිඥයන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ඇතුළු පාර්ශ්ව ගණනාවක අදහස් දැක්වීම් ඊට ඇතුළත් ය.

මෙහි සම්පූර්ණ කාලය විනාඩි 47.22කි.

මෙම ප්‍රහාරය පිළිබඳ පැහැදිලි කිරීමක් චැනල් 4 නාලිකාව විසින් සිදුකරන අතර, ප්‍රහාරය බලය ලබාගැනීම සඳහා රට තුළ අස්ථාවරභාවයක් ඇතිකිරීමට සිදුකරන ලද්දක් බව සඳහන් වේ.

මෙහි තොරතුරු අනාවරණය කරන්නේ හන්සීර් අසාඩ් මවුලානා නමැති තමිල් මක්කල් විඩුතලයි පුලිගල් පක්ෂයේ (TMVP) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ (පිල්ලෙයාන්ගේ) මාධ්‍ය ලේකම්වරයා ලෙස සිටි අයෙකි. ඔහු පවසන්නේ ප්‍රහාරය දිනකින් හෝ දෙකකින් සැලසුම් කළ එකක් නොවන බවයි. වසර දෙකක තුනක කාලයක් පුරා කණ්ඩායමක් තෝරාගෙන විශාල සැලසුමකට අනුව එය සිදුකර ඇති බව ඔහු පවසයි.

මෙම තොරතුරු අනාවරණය කරන හන්සීර් අසාඩ් මවුලානා නමැති අය 2022දී විදේශගත වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් බැහැර කළ නොහැකි සාක්ෂි තමන් සතුව පවතින බව ඔහු මෙම වැඩසටහනේදි සඳහන් කරයි.

ලසන්ත වික්‍රමතුංග !

හන්සීර් අසාඩ් මවුලානා පවසන්නේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ යුතු බව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ බවයි.

මේ වන විට විදේශගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති නිශාන්ත සිල්වාත් මෙම වැඩසටහනට එක්වෙමින් අදහස් පළකර ඇත. ඔහු විදේශගත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, ජීවිත අවදානම හේතුවෙන් ඔහු රටින් පළා ආ බව මේ වැඩසටහනේදී පවසයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් තමන් සිදු කළ පරීක්ෂණ පිළිබඳව මෙහිදී නිශාන්ත සිල්වා අදහස් පළකරයි.

තමන් එම ඝාතනය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව පවසන ඔහු, අදාළ සිදුවීමට සැකකරුවෙකු ලෙස තමන්ගේ නම අධිකරණයට ඉදිරිපත් කළේ කුමන හේතුවක් නිසා දැයි ගෝඨාභය රාජපක්ෂ තමන්ගෙන් ප්‍රශ්න කළ බව ද සඳහන් කරයි.

මාතෘකා කර ඇති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දෙසට අවධානය යොමු කරන හන්සීර් අසාඩ් මවුලානා පවසන්නේ පිල්ලෙයාන් විසින් තමන්ට ආගමික අන්තවාදයට සම්බන්ධ සිරකරුවන් කණ්ඩායමක් හමුවන ලෙස පැවසූ බවයි. මුස්ලිම් මවුලවිවරයෙකු වන සයිනි හෂීම් මවුලවි හමු වූ බව ඔහු පවසයි. එම මවුලවිවරයා National Thowheeth Jama’ath (NTJ) සංවිධානයේ සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු බව ද මෙහි සඳහන් වේ.

මෙම පිරිසෙන් ප්‍රයෝජනයක් ගත හැකි බව පිල්ලෙයාන් තමන්ට පැවසූ බව හන්සීර් අසාඩ් මවුලානා මෙම වැඩසටහනේ දී පවසයි. පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව නීතිඥවරයෙකු සොයාගෙන ඔවුන් ඇපමත මුදාගැනීමට කටයුතු කළ බව  හන්සීර් අසාඩ් මවුලානා කියයි.

සුරේෂ් සලෙයි !

2018 වසරේ ජනවාරි මාසයේ දී එම කණ්ඩායම සහ වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ අතර හමුවක් සංවිධානය කරන ලෙස පිල්ලෙයාන් තමන්ට උපදෙස් දුන් බව හන්සීර් අසාඩ් මවුලානා මෙම සාකච්ඡාවේ දී අනාවරණය කරයි.

මෙම වැඩසටහනේ දී සිය අනන්‍යතාවය හෙළිකිරීමට අකමැති රජයේ නිලධාරියෙකු ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේව  පාලනය කළ බවයි.

2018 වසරේ පෙබරවාරි මාසයේදී සුරේෂ් සලේ සහ බන්ධනාගාරයෙන් මුදවා ගත් සයිනි හෂීම් මවුලවි අතර හමුවක් නැඟෙනහිර පළාතේ කරදිපුවල් ප්‍රදේශයේදී සිදු වූ බවත්, ඒ හමුව සඳහා පොල් වතු යායක පිහිටි නිවසකට බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ පැමිණි බවත්, එම ස්ථානයට ම සුදු වෑන් රථයකින් පැමිණි සයිනි හෂීම් මවුලවි ඇතුළු හය දෙනා අතර සිටි පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් ද එහිදී තමන්ට හඳුන්වා දුන් බවත් මවුලානා අනාවරණය කරයි.

තමන් විසින් සුරේෂ් සලේව එම පිරිසට හඳුන්වා දුන් බවත්, පොල් වතු යායේ පැවති නිවසේදී ඔවුන් අතර සාකච්ඡාවක් සිදුකෙරුණු බවත් පවසන මවුලානා, දීර්ඝ වේලාවක් පැවති එම සාකච්ඡාවට තමන් සහභාගි කර නොගත් බව ද සඳහන් කරයි. සාකච්ඡාවෙන් අනතුරුව සුරේෂ් සලේ තමන් සමග කතා කරමින් රාජපක්ෂවරුන්ට රටේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරීමට අවශ්‍යතාවයක් පවතින බව ප්‍රකාශ කළ බව මෙම සාකච්ඡාවේදී ඔහු හෙළිදරව් කරයි. එය ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා වීමට ඇති එකම මග බව සුරේෂ් සලේ ප්‍රකාශ කළ බව ද හන්සීර් අසාඩ් මවුලානා මෙහිදී කියයි.

සහරාන් හෂීම්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ද වැඩසටහන සිය අවධානය යොමුකර තිබේ.

2018 වසරේ මඩකලපුවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම, 2019 වසරේ දී පොල් වතු යායකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීම පිළිබඳව තොරතුරු එහි දැක්වේ. අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගත් ස්ථානය සුරේෂ් සලේ සහ සහරාන් ඇතුළු පිරිස හමු වූ ස්ථානය ලෙස තමන් හඳුනාගත් බව ද මවුලානා පවසයි.

එම පුපුරණ ද්‍රව්‍ය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුවලට අනුව ඒවා සහරාන් හෂීම් සහ National Thowheeth Jama’ath (NTJ) සංවිධානයට අයත් බවට තොරතුරු අනාවරණ වූ බව නම හෙළි නොකළ රජයේ නිලධාරියා මෙම වැඩසටහනට එක්වෙමින් කියයි. බුද්ධි අංශ පසුව ඒ පිළිබඳ නොමග යවන තොරතුරු ලබාදුන් බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හෙළිවූයේ යැයි මෙම වැඩසටහනේදී ඔහු කියයි. අදාළ පුපුරණ ද්‍රව්‍ය පිටුපස NTJ සංවිධානය සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගත් බව නම හෙළි නොකළ රජයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට සති දෙකකට පෙර ඉන්දීය බුද්ධි අංශ විසින් ප්‍රහාරය එල්ල වන බවට තොරතුරු ලබාදී තිබූ බව ද චැනල් 4 සඳහන් කරයි.

හන්සීර් අසාඩ් මවුලානා කියා සිටින්නේ පාස්කු ඉරුදින උදෑසන තමන්ට බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගෙන් බලාපොරොත්තු නොවූ දුරකතන ඇමතුමක් ලැබුණු බවයි. ඇමතුමට අනුව තමන්ට වහාම ටාජ් සමුද්‍රා හෝටලය වෙත යන ලෙස පැවසූ බව ඔහු කියයි. ටාජ් සමුද්‍රා හෝටලයේ කිසියම් පුද්ගලයෙකු රැඳී සිටිනු ඇති බවත්, කඩිනමින් ඔහුව වාහනයට නංවාගෙන පිටත්ව යන ලෙසත් සුරේෂ් සලේ පැවසූ බව ද ඔහු සඳහන් කරයි.

අදාළ පුද්ගලයාගේ දුරකතනය ලබාගන්නා ලෙසත්, ඔහුට අවශ්‍ය ස්ථානයට ඔහුව ගෙන ගොස් දමන ලෙසත් සුරේෂ් සලේ තමන්ට පැවසූ බව හන්සීර් අසාඩ් මවුලානා ප්‍රකාශ කරයි. එම අවස්ථාවේ දී තමන් මඩකලපුවේ සිටින බව සුරේෂ් සලේට පැවසූ බව ඔහු වැඩසටහනේදී සඳහන් කරයි.

ප්‍රහාරය සිදු වූ 2019 අප්‍රේල් 21 දර්ශන ඉදිරිපත් කරමින් නාලිකාව පෙන්වන්නේ හන්සීර් අසාඩ් මවුලානාට දුරකතන ඇමතුම පැමිණි අවස්ථාවට සමීප අවස්ථාවක් වන පෙරවරු 8.50ට පමණ ප්‍රහාරයක් සඳහා පුපුරණ ද්‍රව්‍ය ද රැගෙන හෝටලයට පැමිණි සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකුට ද දුරකතන ඇමතුමක් ලැබෙන අයුරු ය.

හන්සීර් අසාඩ් මවුලානා විශ්වාසය පළකරන්නේ සුරේෂ් සලේ විසින් තමන්ට හෝටලයෙන් රැගෙන පිටව යන ලෙස දැනුම් දෙනු ලැබූ පුද්ගලයා මොහු විය හැකි බවයි.

දුරකතන ඇමතුම ලැබී විනාඩි දෙකක් ඇතුළත ඔහු විසින් ප්‍රහාරයක් දියත් නොකර ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටව යන අයුරු නාලිකාවේ විකාශය වන සීසීටීවී දර්ශන මගින් පැහැදිලි කරයි.

ඉන්පසුව සහරාන් හෂීම්ගේ සොහොයුරා වන සයිනී ඇතුළු පිරිස අම්පාර – සයින්දමරුදුහිදී සියදිවි නසාගැනීම ද මෙම වැඩසටහනේ දැක්වේ.

මෙම සිදුවීම් මාලාවෙන් අනතුරුව තමන් පිල්ලෙයාන්ට කතා කළ බවත්, ඔහු කට පියාගෙන සිටින ලෙස තමන්ට පැවසූ බවත් හන්සීර් අසාඩ් මවුලානා පවසයි.

අනතුරුව රජයේ නම හෙළි නොකළ නිලධාරියා වැඩසටහනට එක්වෙමින් ඍජුව ම චෝදනා කරන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මෙම ප්‍රහාරය පිටුපස සිටිමින් එහි යන්ත්‍රණය මෙහෙයවූ බවයි. සුරේෂ් සලේ ප්‍රහාරය පිළිබඳ දැන සිටි බවටත්, ඊට පහසුකම් සැපයූ බවටත් ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.

වැඩසටහනේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් තමන් සිදුකළ විමසීම්වලට ගෝඨාභය රාජපක්ෂ හෝ පිල්ලෙයාන් ප්‍රතිචාර නොදැක්වූ බවද චැනල් 4 සඳහන් කරයි.

ප්‍රතික්ෂේප කරනවා : මගේ පවුලටත් තර්ජනයක් – සලේ

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් පවතින බවට එල්ල වන චෝදනා ඍජුව ම ප්‍රතික්ෂේප කළ බව ද නාලිකාව ප්‍රකාශ කරයි. චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පවසා ඇත්තේ NTJ සංවිධානයේ සාමාජිකයන් හමු වූ බවට පැවසුණු සමයේදී තමන් මැලේසියාවේ සිටි බවයි. අනතුරුව පාස්කු ප්‍රහාරය එල්ල වන සමයේ තමන් සිටියේ ඉන්දියාවේ බව ද ඔහු සඳහන් කරයි.

තමන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සිරිල් ගාමිණී පියතුමා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව සුරේෂ් සලේ විසින් රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා නඩුවක් ද පවරා තිබේ. මෙම ප්‍රකාශය නිසා තමන්ගේ සහ තාම පවුලේ සාමාජිකයන්ට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි ද ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.

මම හිටියෙ බන්ධනාගාරයේ – පිල්ලෙයාන්

මේ අතර ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පිල්ලෙයාන් පවසා තිබුණේ මවුලානා විසින් සඳහන් කරනු ලබන දිනවලදී තමන් සිටියේ රක්ෂිත බන්ධනාගාරගත ව බවයි. ඒ, ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතන සිද්ධියට අදාළ ව ය. පිල්ලෙයාන් මෙහිදී වැඩිදුරටත් පවසන්නේ විදේශ රටක රැකවරණය වෙනුවෙන් මවුලානා මෙසේ අදහස් පළකරන බවයි.

කාදිනල් හිමිගේ සම්පූර්ණ කතාව

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පාදක කොටගෙන චැනල් 4 නාලිකාව නිෂ්පාදනය කළ වාර්තා වැඩසටහන පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඊයේ (06) නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනය සම්පූර්ණයෙන්  මෙසේ ය.

‘පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබූ කුමන්ත්‍රණය පිළිබඳවත්, ඒ හා සම්බන්ධව සිටියා යැයි කියැවෙන පුද්ගලයින් පිළිබඳවත් විමර්ශනාත්මක වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනි නාලිකාව විසින් නිෂ්පාදනය කොට ඊයේ (සැප්තැම්බර් 05) දින බ්‍රිතාන්‍යය වේලාවෙන් රාත්‍රී 11.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 03.35 ට පමණ) විකාශය කෙරුණ බව දැන් කවුරුත් දන්නා කාරණයක්.

මේ ‘මහා කුමන්ත්‍රණය’ පිළිබඳව අප රටේ විධිමත් සහ විනිවිද පෙනෙන අවංක විමර්ශනයක් සිදු කර ගැනීමට අපත්, මේ රටේ යුක්තිය සහ සාධාරණත්වය අගයන පුරවැසියනුත් මේ දක්වා දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථකව තිබූ මොහොතක, බ්‍රිතාන්‍යයේ චැනල් 4 වැනි ජාත්‍යන්තර මාධ්‍යයක් ඒ සඳහා දක්වන ලද උනන්දුව සහ වෙහෙස පිළිබඳව අපි චැනල් 4 රූපවාහිනි නාලිකාවටත්, ඒ සඳහා වෙහෙසුන සැමටත් අපගේ කෘතඥතාවය පළ කර සිටිනවා.

අප මේ රටේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වාර්තා වැඩසටහන ඔස්සේ, හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. අපට වැදගත් වන්නේ රූපවාහිනි චැනලයේ පැරණි හැසිරීම නොව එය අප මුහුණ දුන් ප්‍රශ්නය ගැන සොයා ඉදිරිපත් කරන කරුණු ය.

එම වැඩසටහන විකාශය වීමටත් පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් විවිධ කරුණු කාරණා අදහස් උදහස් ප්‍රකාශ කරනු ලැබූ බව අප දුටුවා.

ඒ අතර මනුෂ නානායක්කාර ඇමැතිවරයා කියා සිටියේ මේ වැඩසටහනින් හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවන බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට මේ දක්වා මේ පිළිබඳ විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ වත්මන් ජනාධිපතිතුමා අගමැති ලෙස කටයුතු කළ අවධියේදී පාර්ලිමේන්තු කමිටුවක් පත් කළද, ඒවායේ වාර්තා සහ ඒ වාර්තා මගින් නිර්දේශ ගණනාවක් ද ඉදිරිපත් වුවද ඒ කිසිවෙකින් මේ දක්වාම බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බව රට ම දනී. දැන් පවතින මෙන්ම මීට පෙර පැවති රජයද මේ නිගමනවලට දැක්වූයේ ඉතා උදාසීන ප්‍රතිචාරයකි.

ඒ නිසා මේ සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන තවත් කමිටුවකින් ද, මේ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපි කිසිදු ලෙසකින් නො සිතමු. එහෙයින් එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම ජනතා මුදල් සහ කාලය නාස්ති කෙරෙන සහ ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බව අපට විශ්වාස නිසා අපි එම යෝජනාව පිළි නොගනිමු.

එහෙයින් කඩිනමින් සිදු විය යුතු ක්‍රියාවලිය වන්නේ,

01. චැනල් 4 නාලිකාව සිය වාර්තා වැඩසටහනින් හෙළිදරව් කරන ලද, පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැඳුන සියලු වැදගත් කරුණු මෙන් ම ඒ හා සම්බන්ධ යැයි හෙළිදරව් කර ඇති පුද්ගලයින් පිළිබඳව මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දක්වා සිදුකර ඇති විමර්ශන සහ කොමිෂන් සභා වාර්තා වලින් හෙළිදරව් වූ, නමුත්, මේ දක්වා නිසි විමර්ශනයට ලක් නොවූ කරුණු පිළිබඳව ද අපක්ෂපාතී, සාධාරණ සහ විනිවිද බවින් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු ය.

02. එම විමර්ශනය සිදුවිය යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගිනි.

03. එම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහය වීම සඳහා පත් කරනු ලබන දේශීය විමර්ශන කණ්ඩායමට, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ මොහොතේ සිට මූලික විමර්ශන සිදුකරන ලද, දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබා දී තිබෙන විමර්ශකයින් සියලු දෙනා ඇතුළත් විය යුතුය.

04. එම විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට අවකාශය සැලසීම සඳහා මේ විමර්ශනයට ලක්වන, දැනටමත් බුද්ධි අංශවල මෙන්ම පොලිසියේ ඉහළ නිළතල හොබවන, සියලු නිළධාරීන්ගේ සේවය විමර්ශන නිමාවන තුරු අත්හිටවිය යුතුය.

එසේම, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීම අරබයා තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නමුත්, තවමත්, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මාගේ සහ ඒ පිළිබඳ චෝදනාවට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහත්මාගේ ද සේවය මෙම විමර්ශනය නිමා වන තුරු අත්හිටවිය යුතුය.

ඉහත කී අපගේ යෝජනා ජනාධිපතිතුමන් ඇතුළු මේ රජය ඉටු කරනු ඇතැයි අපි අවංකව අපේක්ෂා කරමු. මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදුවන සාධාරණ සහ විනිවිද පෙනෙන විමර්ශනයකින් හැර වෙනත් ආකාරයකින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් බවට පත් වූ අහිංසක ජනතාවට යුක්තිය සහ සාධාරණය ඉටු නොවන බව අපි අවධාරණය කර සිටිමු.

මේ අවස්ථාවේදී පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන්ම ආරක්ෂක අංශවල අදාළ නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔවුන් ඇතැම්, මේතාක් හෙළි නොවුණ නිශ්චිත කරුණු දැන සිටීනම් ධෛර්්‍යවන්තව ඒවා එළිදරව් කරමින් සත්‍යයට සාක්ෂි දරන්නට ඉදිරිපත් වන ලෙසය.

අපගේ දේවස්ථානභාර සියලුම පියතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය සිදුකරන සැප්තැම්බර් 8 වෙනිදා සිකුරාදා දින සියලුම දේවස්ථානවල සවස 6.30 ට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් විශේෂාකාරයෙන් දෙව් මවුන්ගේ පිහිට පතන ලෙස ය.

මේ සඳහා කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ.ඩි. ඇන්තනි හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදින සවස 6.30 ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදීත්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදිනම සවස 6.30 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථනයේදීත් පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමි.

එම දේව මෙහෙය තුළ දිව්‍ය පූජාව හෝ ශුද්ධවූ ජපමාලය උච්චාරණය කිරීම සහ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය ලබා දෙමින් ජනතාව ආසිරි ගැන්වීම සිදුවන බව දන්වා සිටිමි.

මේ සඳහා සහභාගී වන ලෙස අප ඉතා ඕනෑකමින් අපි සියලුම කතෝලික සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිමු.’

Source- The Time

Leave a Reply