පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් 22 වනදා එම කොමිසම පත් කරනු ලැබීය.

කොමිෂම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන අතර එම වාර්තාව පිටු 472කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06කින් සමන්විත බව ජනාධිපති කාර්යාලය තම වෙබ් අඩවියේ දක්වා ඇත.

කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් අතුලු පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වුව ද මෙම සම්පූර්ණ වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර එහි කොටස් කිහිපයක් පමණක් ප්‍රසිද්ධ කර තිබේ.

චෝදනා 23,270 යටතේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නඩු

මේ අතර අප කළ වැඩිදුර සොයා බැලීමකදී අප අධිකරණ වාර්තාකරු තහවුරු කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් අපරාධ නඩුවක් කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මේ වන විට විභාග වෙමින් පවතින බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම හා ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270 යටතේ, විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනු කරනු ලැබ තිබේ.