EA Info

2023.09.08-පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ පවතින නඩු මොනවාද?

2023.09.08-පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ පවතින නඩු මොනවාද?

බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නව වීඩියෝවක් නිකුත් කිරීමත් සමග මේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දිනවල යළි බහක් මතුව තිබේ. මේ පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවටද ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මේ දක්වා නඩු පවරා ඇත්තේ කාටද? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණවල විභාගවන නඩු මොනවාදැයි, බීබීසී සිංහල විමසා බැලීමක් කළෙමු.

චෝදනා 23270 යටතේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නඩු

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් ප්‍රධාන අපරාධ නඩුවක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වෙමින් පවතී.

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270 යටතේය.

විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනු කරනු ලැබ තිබේ.‌

නඩුවේ විත්තිකරුවන් ලෙස මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්), හයාතු මොහොමදු මිල්හාන් ( අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබූ ෆලා ), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්( අබූ මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි / අබූ ෆුර්කාන්) හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් ( අබූ මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් ( අබු හිනා), මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් ( අබු නන්ජියාර්), යාසින් බාවා අබ්දුල් රවුෆ්, රසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජෙස්මින්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), මොහොමඩ් අමීන් අයන්තුල්ලා , මොහොමඩ් අක්‍රම් අහක්කම් යන අය නම් කර සිටිති.‌

ඔවුහූ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු බව හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර වරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

නඩුවට අදාළ චෝදනා මේ වන විට සම්පූර්ණයෙන්ම විත්තිකරුවන්ට කියවා දී අවසන් කොට ඇති අතර එම චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.

නඩු විභාගය ලබන ඔක්තෝබර් මස 10 වැනිදා පැවැත්වීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කර ඇත.

‌වන්දි නඩු 290ක්

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ හානිය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් 108 දෙනකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනු කරනු ලැබීය.‌

එම නඩුවල වගඋත්තරකරුවකු ලෙස එවකට අග්‍රමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ නම් කර තිබුණද ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිස් පස් වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි හෙයින් ඔහු මුදා හැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබුණි.

නඩුවේ ප්‍රධාන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් එම නඩු වලින් මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළත් කොළඹ දිසා අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

තමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රතිපාදන නොමැති බැවින් තමන්ව එම නඩු වලින් නිදහස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

එහෙත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කොළඹ දිසාඅධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු පවත්වාගෙන යාමට තීන්දු කරනු ලැබීය.‌

තීන්දුවට එරෙහිව මෛත්‍රිපාල සිරිසේන විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ ද අධිකරණය විසින් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබුණි.‌

මේ අතර මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය හා වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා නඩු 182 ක් මීගමුව දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ.

එම නඩු වල විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය නම් කර ඇති අතර එම නඩු ද මේ වනවිට විභාග වෙමින් ඇත.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මිනීමැරීම ඇතුළු චෝදනා 850 බැගින් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙනම නඩු දෙකක් ගොනු කර තිබුණි.

එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනා වලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය.

මහාධිකරණය විසින් ලබාදුන් එම තීන්දුව දෝෂ සහගත බවත් එබැවින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් තිබේ.

මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ගොනු කෙරුණු අතර එහි තීන්දු ඉකුත් ජනවාරි මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.‌

ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්, වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව විසින් මේ පෙත්සම් 12 ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කළේ අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100 ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 ක් බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10 ක්ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග ලැබීය.

එම වන්දි මුදල, තීන්දුව ලබා දුන් ජනවාරි මස 12 වනදා සිට සිට මාස හයක කාලසීමාවක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි.

ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙන් රජයට නියෝග කර තිබුණි.

එහෙත් තමන්ට ගෙවන ලෙස නියම කර තිබෙන රුපියල් මිලියන 100 ක වන්දි මුදලින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 15 ක මුදලක් පමණි.

ඉතිරි වන්දි මුදල් වාර්ෂිකව රුපියල් ලක්ෂ 85 බැගින් 2024 වසරේ ජූනි මස 30 වන දා සිට ඉදිරි වසර 10 තුළ ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට වග උත්තර කරුවන් හා රජය අපහොසත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිය නීතීඥ ශමිල් පෙරේරා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ.

එම මෝසම ද ලබන 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස මිනීමැරීම, රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරෙහිව පුද්ගලික පැමිණිල්ලක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් ජනවාරි මස ගොනු කෙරුණි.

සිරිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයෙන් වින්දිතයෙක් බවට පත් වූ පුද්ගලයෙක් එම පෞද්ගලික පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබූහ.

එම පෞද්ගලික පැමිණිල්ල සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විත්තිකාර මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබුණි.

තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බැවින් එම නඩුව විභාගයට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

එම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ මේ වනවිට විභාග වෙමින් පවතින අතර මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබ තිබේ.

ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම සඳහා වනාතවිල්ලුව, ලැක්ටෝ වත්ත ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය රැස් කිරීම සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තවත් නඩුවක් ගොනු කර ඇත.

එම නඩුවද මේ වන විටත් විභාග වෙමින් පවතී.

Source- BBC Sinhala

Leave a Reply