පාස්කු ඉරිදා සංහාරයේදී දිවි අහිමි වූ 269 ක් දෙනා එවැනි මෘග අවසානයක් කිසි දවසක නොපතන්ට ඇත. ඔවුන්ගේ ආදරණීයයන් තවමත් ජීවත් වන්නේ, අවසාන වරට ඒ අවාසනාවන්තයන් සමග තමන් බෙදාහදාගත් මතක වස්තු සිහිපත් කරමිනි. සිදුවීමෙන් අවුරුදු හතරකට පසු, එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාව එතෙක් පැවති නිශ්ශබ්දතාව බිඳ දමමින්, ඒ මිනිස් සංහාරය කල්තියා සැලසුම්කොට තිබිණැයි කියන කතාව ගැන ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක් මේ වන විට ඉදිරිපත්කොට තිබේ. ඒ ‘ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය’ මැයෙන් ඔවුන් විසින් නිෂ්පාදිත රූපවාහිනී වැඩසටහනක් තුළිනි. එහෙත් එකී සංහාරය, දේශපාලනික අභිමතාර්ථයක් හෝ ආගමික අභිමතාර්ථයක් හෝ භූ-දේශපාලනික අභිමතාර්ථයක් පෙරදැරිව කල්තියා සැලසුම්කොට තිබුණු දෙයක්ද යන්න තවමත් නොවිසඳී පවතින පැනයකි.
අප එදා කටුවාපිටියට ගිය විට…
කටුවාපිටිය බෝම්බයේ වින්දිතයන්ගේ නිවෙස්වලට මීට අවුරුදු හතරකට කලින් ‘ඩේලි මිරර්’ පුවත්පතේ අප යන විට වැඩිහිටියන් මෙන්ම දරුවන්ද ඒ වන විටත් සිටියේ මහත් කම්පනයෙනි. සමහරු තවමත් ප්‍රතිකාර ලබමින් උන්හ. තවත් සමහරු හෙමින් හෙමින් සුව වෙමින් සිටියහ. තවත් සමහරු ජීවිත කාලයටම ඇඳට වැටී සිටියහ.
වයස අවුරුදු පහළොවක් වූ ස්නේහ මින්දනී මිල්රෝයි ඒ ප්‍රහාරයෙන් දිවි බේරාගත් එක්කෙනෙකි. ඇගේ පවුලේ සාමාජිකයන් විසින් ඇගේ සිරුර සොයාගන්නා අවස්ථාවේ ඈ සිට ඇත්තේ සිහිසුන්ව ය. ඇගේ හිසට බරපතළ හානි සිදුව තිබුණි. එහිදී ශල්‍යකර්ම දෙකකට භාජනය වීමට ඈට සිදු විය. එකක්, උණ්ඩ කැබලි ඉවත් කිරීමට ය. අනෙක, පටක බද්ධ කිරීමට ය. එහෙත් ඉන් අවුරුද්දකට පසු පවුලේ සාමාජිකයන් දැනගත් පරිදි, හිස්කබල මූට්ටු කිරීමට යොදා තිබූ මුරිච්චි හරිහැටි සම්බන්ධකොට තිබී නැත. එය පිටතට දිස් වුණේ, නළලේ හටගත් විශාල කුරුලෑවක් මෙනි. එහෙත් එය ඇත්තෙන්ම, වැරදි ශල්‍යකර්මයක් නිසා පිටට නෙරා ඇති මුරිච්චියකි.
අප මෙදා කටුවාපිටියට ගිය විට..
‘ඩේලි මිරර්’ පුවත්පතේ අපි, කටුවාපිටිය පල්ලියේ බෝම්බයට හසු වූ වින්දිතයන් සොයාගෙන මෑතකදී ගියෙමු. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මේ වන විට ‘සාන්ත සෙබස්තියන් නිවැසිපුර’ යෝජනා ක්‍රමය යටතේ පදිංචිකොට ඇත. මේ නිවාස සංකීර්ණයට ඇතුළු වන තැන තනා ඇති අත්තිවාරම් ගලක, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කෘතඥතාව පළ කරන සටහනක් සමග ඒ යෝජනා ක්‍රමයේ ආරම්භක සාමාජිකයන් කිහිප දෙනෙකුගේ නම් සටහන්කොට තිබේ. මේ නිවෙස් ලබා දී ඇත්තේ, විනාශය සිදුවන අවස්ථාවට කලින් කුලී ගෙවල්වල ජීවත්ව සිටි පවුල්වලටයි. ඒ නිවාස යෝජනා ක්‍රමය අවම පහසුකම් සහිතව ගොඩනැඟූවකි. මෙය, යුක්තිය ඉල්ලා හඬ නඟන වින්දිතයන්ගේ පවුල් අස්වැසීම සඳහා ගන්නා ලද සීනිබෝල ප්‍රයත්නයක්දෝ යන පැනය කෙනෙකුගේ සිතට නැඟේ.
‘අපි ඡන්දෙ දුන්නේ ගෝඨාභය රාජපක්ෂට’- කල්යාණි
2019 අප්‍රේල් 21 වැනිදා අවසාන බෝම්බය පුපුරන මොහොතේ, එදා පැවති ආණ්ඩුව කෙරෙහි පැවති ජනතා අපේක්ෂා එක සැණින් වියැකී ගියේය. එහෙත්, බෝම්බ පිපිරී සතියක් ගිය තැන, ඊළඟ ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත්කිරීමත් සමගම මිනිස්සු සැනසුම් සුසුම් හෙළුහ. “අපි ගෝඨාභය මහත්තයාට තමයි ඡන්දෙ දුන්නේ,” ස්නේහගේ මව, කල්යාණි අප්පුහාමි අප ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියාය. “ඒකෙ පුදුමයක් නැහැ. මොකද, සිරිසේන ආණ්ඩුව ගැන අපේ විශ්වාසය බිඳිලයි තිබුණෙ. ඒගොල්ලො ඇත්ත වසං කරන්නයි බැලූවෙ. වින්දියන්ගේ පවුල්වල අපිට ඕනෙ කළේ එකම දෙයයි. ඒ තමයි යුක්තිය,” ඈ කීවාය.
චැනල් 4 අනාවරණයන් ගැන සිතන්නේ කුමක්දැයි අප ඇසූ විට, එයින් තමන් මහත් කම්පාවට පත් වූ බව ඈ කීවාය. “චැනල් 4 වීඩියෝවේ කියන කතා ඇත්ත කියලා ඔප්පු වුණොත්, ඒ කියන්නේ අපිව රවට්ටලා තියෙනවා කියන එකයි. ඒත් ඒවා ඇත්තද කියලා අපි තාම දන්නෙ නැහැ. අපි දන්න එකම දේ තමයි, මේ සිද්ධියෙන් පස්සේ අපේ හිත්වල සහනය නැති වුණා කියන එක. මගේ දුවයි, පුතයි තවමත් සුළු මට්ටමේ ක්ෂතියෙන් විඳවනවා. අපි විඳිමින් ඉන්න ඒ ක්ෂතියට වගකිව යුත්තෝ කවුද? ඒ ගැන වගවෙන්නෙ කවුද? ඔවුන් කවුරුන් වුණත්, මේ ඉරහඳ යට තියෙන මෘගම දඬුවම ඔවුන්ට දෙන්න ඕනෙ.” ඈ අවධාරණය කළාය.
මේ ඛේදවාචකයේ තවත් පැත්තක් වන්නේ, රෝමානු කතෝලික ලබ්ධිය ඇදහූ බොහෝ පවුල්, මේ සිද්ධියෙන් පසු සිය ආගමික විශ්වාසයන් අතහැර තිබීමයි. ‘සමහර පවුල් ඉටිපන්දමක්වත් දැන් පත්තු කරන්නෙ නැහැ’ ඈ කීවාය. ‘එක්කෙනෙක් ඉන්නවා, එයාගේ පවුලෙ හත් දෙනෙක් නැති වුණා. මේකෙන් පස්සෙ එයා ආගම අතහැරියා.’
‘අපි ඉල්ලන්නෙ ජාත්‍යන්තර පරීක්ෂණයක්’- වර්ල්
මඩකලපුවේ සියොන් පල්ලියේ බෝම්බ පිපිරීමෙන් අරසරත්නම් වර්ල්ට සිය පුතා ජැක්සන් (13) සහ සොහොයුරිය වර්ලිනී (36) අහිමි විය. පුංචි එලීසා සහ රෙඛෙකා බරපතල පිළිස්සුම් තුවාල ලැබූහ. චැනල් 4 වීඩියෝවට ප්‍රතිචාර දක්වමින්, පිල්ලෙයාන් යනු දැනටමත් ජෝසප් පරරාජසිංහම් ඝාතනයේ විත්තිකරුවෙකු බව ඔහු කියා සිටියේය. “මිනිහගේ දේශපාලන හයියෙන් එයා නඩුකාරයන්ව මාරු කරගත්තා. ඇප ලබාගත්තා. ඒත්, චැනල් 4 වීඩියෝවේ කරුණු ඇත්ත නම්, ඔහුට දඬුවම් කරන්න ඕනෙ. තමන්ගේ ආදරණීය අය නැති වෙච්ච අය විතරයි දන්නෙ ඒකෙ තියෙන වේදනාව. මේ චෝදනා සහ ප්‍රහාරයන් ගැන ස්වාධීන, ජාත්‍යන්තර පරීක්ෂණයක් තියන්න ඕනෙ කියලා අපි ඉල්ලා හිටිනවා. නිකංම පරීක්ෂණයක් කරලා ආණ්ඩුවට අත හෝදගන්න බැහැ. තමන්ගේ ආදරණීයයන් නැති වෙච්ච අයට සහ තුවාල ලබපු අයට උපරිම වන්දි ගෙවන්න ඕනෙ. දැනට තියෙන විදිහට නම්, ඒ ඔක්කොම, බොරු පොරොන්දුවලට විතරක් සීමා වෙලයි තියෙන්නෙ.” වර්ල් කීවේය.
ජාතික ආරක්ෂාව පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ගෙන ගිය ප්‍රචාරයෙන් පසුව මඩකලපුවේ ජනතාව ඔහුට ඡන්දය දුන්නේදැයි ඇසූ විට, “නැගෙනහිර පළාතෙන් ගෝඨාභයට ලැබුණෙ ඡන්ද 39,000 ක් විතරයි. බහුතරයක් මිනිස්සු ඡන්දෙ දුන්නෙ සජිත් ප්‍රේමදාසට.” ඔහු කීය.
චෝදනා නැඟෙන පැති..
චැනල් 4 වීඩියෝවේ ප්‍රධාන ප්‍රකාශකයා හෙවත් “දෝෂදර්ශක හෙළිදරව්කරුවා” වන හන්සීර් අසාද් මව්ලානා, පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයා ය. තමාගේ ජීවිතයට සහ පවුලට තර්ජන ඇතැයි කියමින් 2022 දී මව්ලානා බටහිර රටක දේශපාලන රැකවරණ ඉල්ලා තිබේ. ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙන ඒම සඳහා රට තුළ ‘අනාරක්ෂිත’ වාතාවරණයක් ඇති කරනු වස්, හමුදා බුද්ධි අංශ නිලධාරීන් බෝම්බකරුවන් හමු වී තිබුණු බවට ඔහු චෝදනා කරයි. පසුව ඒ ජනාධිපතිවරයාව බලයෙන් පන්නා දැමුණි.
විනාඩි 47 ක් පුරා දිවෙන වීඩියෝ සාකච්ඡාව තුළ කරුණු දක්වන මව්ලානා වැනි ඉහළ පෙළේ ‘දෝෂදර්ශක හෙළිදරව්කරුවන්ට’ අනුව, එදා පැවති රාජ්‍ය යාන්ත්‍රණය මෙම පරීක්ෂණ කඩාකප්පල් කිරීමට කටයුතු කර තිබේ. එහෙත් මේ සිද්ධිය පිළිබඳ සඳහන් කරුණු ගැන තවමත් අඩමානයන් කිහිපයක් තිබේ. පල්ලි සහ හෝටල් ඉලක්ක කෙරුණේ ඇයි?, පාස්කු ඉරිදා ඒ සඳහා තෝරාගැනුණේ ඇයි?, ඒ සඳහා ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ව යොදාගැනුණේ ඇයි? සහ මේ ප්‍රහාරයට මුදලින් ආධාර කළෝ කවුරුන්ද? ආදී ප්‍රශ්නවලට තවම උත්තර නැත. එහෙත් ශ්‍රී ලාංකිකයන් දන්නා දෙයක් තිබේ. එනම්, ප්‍රහාරයෙන් සතියක් ගතවෙත්ම, තමා ජනාධිපති සටනට එන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත්කිරීමත්, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණය මුල් කරගෙන ඔහු ඡන්ද ලබාගත් බවත් ය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක වශයෙන් සිටි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම ගැනත් චැනල් 4 වීඩියෝව තුළ බරපතල ලෙස සාකච්ඡා කෙරේ. කුප්‍රකට ‘ට්‍රිපොලි හමුදා කල්ලියට’ එරෙහි බොහෝ චෝදනා එහිදී නැගේ. එවක සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සඳහා නියෝග දුන් බවටත් මෙහිදී චෝදනා කෙරේ.
මෙතැන එක්තරා අහඹුවක් තිබේ. එනම්, සැප්තැම්බර් 11 වැනිදා ආරම්භ වී ඔක්තෝබර් 13 දක්වා දිවෙන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය සමග මෙම වීඩියෝව එක විට සමපාත වීමයි. ඒ නිසා, මේ වනාහී රාජපක්ෂ පවුල ඉලක්කකොට, බ්‍රිතාන්‍ය රූපවාහිනියක් නඟන පදනම් විරහිත චෝදනා මාලාවකියි ලංකාවේ බොහෝ දේශපාලනඥයෝ කියති. 2011 ජුනි මාසයේදී චැනල් 4 මගින්, ‘ශ්‍රී ලංකාවේ ඝාතක අඩවි’ නමින් මෙවැනිම වීඩියෝවක්, මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට දින කිහිපයකට කලින් ප්‍රසිද්ධියට පත්කරන ලදි.
චෝදනා නිශ්ප්‍රභා කෙරේ..
පසුගිය සැප්තැම්බර් 5 වැනිදා චැනල් 4 වීඩියෝව නිකුත් වීමත් සමගම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඒ චෝදනා ප්‍රතික්ෂේප කරමින්, බ්‍රිතාන්‍යයේ චැනල් 4 ආයතනයට තම පවුල සමග එදා පටන්ම ඓතිහාසික ආරෝවක් ඇති බව කියා සිටියේය. ඔවුන්ගේ චෝදනාවල යම් සත්‍යයක් අඩංගු වී නම්, එම වීඩියෝව පසුව ඉවත් කරගෙන ඇත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කෙළේය. ඔහු එසේ කීවාට, තවමත් ඒ වීඩියෝව මාර්ගගත අවකාශය තුළ තිබේ. බොහෝ දේශපාලනඥයන් මේ වීඩියෝව ගැන විවිධ මත පළ කර ඇති අතර තවත් බොහෝ දෙනා එය පදනමක් නැති චෝදනා මාලාවක් වශයෙන් ප්‍රතික්ෂේප කරති.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිටු තුනකින් යුත් ප්‍රතිචාරයක් දක්වා ඇත. සියලූ චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහු, පසුගිය රජය විසින් විභාග කිරීමට අසමත් වුණු කරුණු ගණනාවක් ගැන සඳහන් කරයි. 2018 දෙසැම්බර් 18 වැනිදා බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට අදාළ සිද්ධිත්, වව්නතිව් සහ වනාතවිල්ලූව සිද්ධිත් එම රජය විසින් නිසි පරිදි විමර්ශනය කෙළේ නම්, ත්‍රස්තවාදීන් පිළිබඳ වඩාත් පැහැදිලි චිත්‍රයක් ඇති කරගැනීමට හැකියාව තිබුණු බව හෙතෙම කියයි. තමා ජනාධිපති වූ පසු, පාස්කු විනාශය පිළිබඳව ඇමරිකානු එෆ්.බී.අයි. (ඇමරිකානු අපරාධ විමර්ශන අංශය) වෙතින් සහාය පැතූ බවත් ඔහු කියයි. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වෙත එෆ්.බී.අයි. වෙතින් ලැබුණු පිළිතුරු ලිපියත් ගෝඨාභය රාජපක්ෂගේ ලිපිය තුළ ඇතුළත්කොට තිබේ. එසේ වෙතත්, ඔහුගේ ලිපිය තුළ, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව තමාට නැගෙන චෝදනාව ගැන කිසිවක් කීමට ඔහුට අමතක වී තිබීම හෝ ඒ ප්‍රශ්නය ඔහු නොතකා හැර තිබීම පුදුමසහගත ය.
පාස්කු ප්‍රහාරය පිළිබඳව දැන් පැනනැඟී ඇති චෝදනා විභාග කර බැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ගිය ඉරිදා ප්‍රකාශයට පත්කෙළේය. මේ ප්‍රහාරයෙන් පසු, මීට කලින්, ඒ ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත්, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකුත් පත්කොට තිබුණි. ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි වින්දිතයන්ගේ පවුල්වලින් දැන් කෙරෙන ඉල්ලීම කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කරාවිද යන සැකය තවමත් ඉතිරිව තිබේ.