EA Info

2024.01.11- බොරු තොරතුරු දුන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය උසාවි කැඳවයි

2024.01.11- බොරු තොරතුරු දුන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය උසාවි කැඳවයි

 

 

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැරහැරියේ යැයි චෝදනා පත්‍ර නිකුත් කළ නිලධාරීන් සම්බන්ධයෙන් වන තොරතුරු තමන් සතුව නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය කළ ප්‍රකාශයේ සත්‍යාසත්‍ය බව නොබලා එම තීන්දුව ස්ථිර කිරීමට තොරතුරු කොමිසම ගත් තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලමින් ගොනුකළ අභියාචනයක් අද (11) සළකා බැලූ අභියාචනාධිකරණය, වගඋත්තරකාර මහජන ආරක්ෂක අමාත්‍යංශයට පෙබරවාරි 13 වැනිදා අධිකාරණයේ පෙනීසිටින්නැයි නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

මරදානේ පිහිටි සමාජය සහ සාමයික කේන්ද්‍රය වෙනුවෙන් එහි පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගොනුකර ඇති මෙම අභියාචනය අද (11) අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස නොතීසි නිකුක් කිරීමට නියෝග කෙරිණි.

අභියාචක වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ සමග නීතිඥ සුරේන් ඩී. පෙරේරා අධිකරණය ඉදිරියේ පෙනීසිටියහ.

තොරතුරු කොමිසමේ තීන්දුවලට එරෙහිව පොදු අධිකාරීන් (තොරතුරු පනත යටතේ වැටෙන ආයතන) අභියාචනාධිකරණයට අභියාචනා යොමුකර ඇතත්, කොමිසමේ තීන්දුවකට එරෙහිව පනතේ 34 වගන්තිය යටතේ අභියාචකයකු අභියාචනාධිකරණයට අභියාචනා කළ පළමු අවස්ථාව මෙය බව කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැරහැරියේ යැයි කියන පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව චෝදනා පත්‍ර රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් එවනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි සරත් වීරසේකර 2021 ජුනි මාසයේදී ජනමාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එම නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබානොදෙන ලෙස පොලිස්පතිවරයා ලිඛිතව ඉල්ලීම් කළ බව ද පසුව වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් වන ලියවිලි ඉල්ලමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත සමාජය හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් තරිඳු ජයවර්ධන තොරතුරු ඉල්ලීමක් යොමුකර තිබිණි.

එම තොරතුරු පෞද්ගලිකත්වයට සම්බන්ධ තොරතුරු නිසා පනතේ ප්‍රතිපාදන අනුව ලබාදිය නොහැකි බව කියමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතික්ෂේප කළ බවත්, කොමිසමට අභියාචනා කිරීමෙන් පසු මෙම තොරතුරු පෞද්ගලිකත්වයට අදාළ නැති බවට තම පාර්ශශවෙයන් කරුණු දැක්වූ බවත්, එම කරුණු දැක්වීමෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යංශය තම ස්ථාවරය වෙනස්කරමින් එම තොරතුරු තමන් සතුව නැති බව ප්‍රකාශ කළ බවත් අභියාචනාධිකරණයට ගොනුකළ අභියාචනයේ සඳහන් වේ.

මෙම අභියාචනය තොරතුරු කොමිසමට යොමුකළේ මහජන ආරක්ෂක අමාත්‍යංශය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් බවත්, පෞද්ගලික තොරතුරු බව කියමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සළකා බැලීමට තොරතුරු කොමිසම අසමත්වී ඇති බවත්, මෙම අභියාචනයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශය මෙම තොරතුරු තමන් සතුව නැතැයි කියමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි කළ ඉල්ලීම ද තොරතුරු කොමිසම සළකා බලා නැති බවත් අභියාචනයේ දැක්වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නිකුත් කළ රීති අනුව, කොමිසමට පරීක්ෂණයක් කිරීමට හැකියාව ඇත්තේ අභියාචනයක් අතරතුරදී බව ද, මහජන ආරක්ෂක අමාත්‍යංශය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන බව සනාථ කිරීමට ලිපි අංක කිහිපයක් අභියාචක විසින් තම ලිඛිත දේශනයේදී සඳහන් කර ඇතත් කොමිසම සිය තීන්දුව ලබාදෙද්දී ඒ ගැන පරීක්ෂණයක් කර නැති බව ද, ඒ අනුව කොමිසම ලබාදුන් තීන්දුව වැරදි බව ද අභියාචනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජනමාධ්‍යවේදී තරිදු ජයවර්ධන මෙම අභියාචනය මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තොරතුරු කොමිසම මෙම අභියාචනය සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුව අහෝසි කරන ලෙසයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශය තොරතුරු පනතේ 39 වැනි වගන්තිය යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් 2017 තොරතුරු දැනගැනීමේ රීතිවල 26 වැනි රීතිය යටතේ පරීක්ෂණයක් කිරීමට කොමිසමට නියෝග කරන ලෙසත්, ඉල්ලා ඇති තොරතුරු මුදාහැරීමට තීන්දු කරන ලෙසත් වැඩිදුරටත් මෙම අභියාචනය මගින් ඉල්ලා තිබේ.

වැඩිදුර කැඳවීම පෙබරවාරි 13 වැනිදාට කල් තැබිණි.

Source- Ceylon Wire

Leave a Reply