EA Info

2024.03.27- නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්

2024.03.27- නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාමක කරන ලෙසට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ වින්දිතයකු විසින් ගොනු කරන ලද පෙත්සමක් අද (27) කැඳවා තිබෙනවා.

එහිදී, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම ගැන ගෙන ඇති සියලු පියවර මොනාවාද යන්න සහ ඔහුට එරෙහිව අපරාධ නඩු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද යන්න අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් මැයි 02 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නීතිපතිට නියෝග කළා. ‍

මෙම පෙත්සම අද සෝබිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කර තිබුණා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා දැනුම් දුන්නේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තමාට පළමු වගඋත්තරකාර පොලිස්පතිගෙන් සහ දෙවැනි වගඋත්තරකාර නිලන්ත ජයවර්ධනගෙන් උපදෙස් නොලැබුණු බවයි.

එබැවින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා තිබෙනවා.

අනතුරුව පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සඳහන් කළේ මෙම පෙත්සමෙන් අතුරු නියෝග කිහිපයක් ඉල්ලා ඇති බවයි.

පෙත්සමේ ඉල්ලීම් යටතේ ඇති දෙවැනි ඉල්ලීම මඟින් නිලන්ත ජයවර්ධනට එරෙහිව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ නිලන්ත ජයවර්ධනට එරෙහිව ලබා දී ඇති තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඔහුට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාල සියලුම තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අතුරු නියෝගයක් ඉල්ලා ඇති බව ඇය තවදුරටත් අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.

එම අතුරු නියෝගවලට අදාල ඉල්ලීම් සම්බන්ධයෙන් යම් සීමිත විරෝධතා ඇතොත් මැයි 03 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නීතිපතිට නියෝග කළ අධිකරණය එලෙස සීමිත විරෝධතා ගොනු කළහොත් ඊට ප්‍රතිවිරෝධතා ඇතොත් මැයි මස 17 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කරුවන්ට නියෝග කළා.

එමෙන්ම, මෙම රිට් පෙත්සම සලකා බැලීම සඳහා එය යළි මැයි 28 කැඳවන ලෙස ද නියෝග කෙරුණා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ ඇතුළු නීතිඥවරු පිරිසක් සමග නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දීගොඩගමගේ නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

Source- News19

Leave a Reply