ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස පත් කරනු ලැබූ බවට චෝදනා එල්ල වී ඇති දේශබන්දු තෙන්නකෝන් මීගමුව කටුවාටිපිය දේවස්ථානයටත්, පාස්කු වින්දිතයන් බැලීමටත් ගිය බවට ජනමාධ්‍ය අද වාර්තා කර තිබේ. මෙම කෙටි ලිපිය පාස්කු ප්‍රහාරයට අදාලව දේශබන්දු තෙන්නකෝන්ගේ වගකීම ගැනයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ 2019 වසර වන විට දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර උතුර එනම් ගම්පහ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විය. පොලිස් මූලස්ථානයේ දී 2017 වසරේ ජුනි මස 28 දිනදී දී පැවැති සාකච්ඡාවක් අතරතුර දී ආගමික අන්තවාදය ගැන ද උසස් පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීම සිදුවූ අතර දේශබන්දු තෙන්නකෝන්ද සම්බන්ධ වී සිටියේය. එම වැඩසටහනේදී ආගමික අන්තවාදය ගැන මූලිකව කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ එවකට ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ (ටීඅයිඩී) අධ්‍යක්ෂ නාලක සිල්වාය. ඊට අමතරව විශේෂ කාර්යංශය භාර නිලධාරියාද කරුණු දැක්වීය. ඒ අනුව 2019 අප්‍රේල් වන විට සහරාන්ලාගේ කල්ලිය ගැන දේශබන්දු තෙන්නකෝන් දැනගෙන සිටියේය.
සහරාන් හෂීම් ඇතුළු තවුහිත් ජමාත් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන ඉලක්කර කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට 2019 අප්‍රේල් මස 04 වැනිදා ලැබුණු බුද්ධි තොරතුර ඔහු පොලිස්පති පූජිත් ජයසුන්දරට අප්‍රෙල් 08 වැනිදා ලබා දී තිබිණි. පොලිස්පතිවරයා එදිනම එම තොරතුර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සටහනක් තබමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු හතර දෙනකුට යොමු කළේය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එවකට කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නන්දන මුණසිංහය. ඔහු එදිනම එය අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දේශබන්දු තෙන්නකෝන්ටද යොමු කෙරිණි. එම බුද්ධි තොරතුර යොමු කරද්දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනාට ලිඛිතව වැදගත් උපදෙස් හතරක් ලබා දී තිබිණි. ඒවා මෙසේ.
1) ලිපියේ සඳහන් එම පුද්ගලයන්ගේ ඡායාරූප ලබාගෙන, එම ඡායාරූප බුද්ධි අංශ නිලධාරීන් වෙත ලබාදී ඔවුන් අදාල ඉලක්කගත ස්ථානවල හෝ ඒ අවට සිටීදැයි පරීක්ෂා කළ යුතුය. තවද ඔවුන් නවැතැන්පොළවල්, කුළී නිවාස යන ආදියෙහි නවාතැන් ගෙන සිටිය හැක. එම ස්ථාන පරික්ෂා කල යුතුය.
2) බුද්ධි තොරතුරු රහසිගතව තබාගෙන විමර්ශන කළ යුතු අතර, මහජනතාව අනිසි බිය ගැන්වීමකට ලක්කල යුතු නොවන බව අවධාරණය කරමි.
3) කතෝලික පල්ලිවලට ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට වැටෙහේනම් ඒ සඳහා නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාවට නැංවිය යුතුය. එසේම එල්ලවිය හැකි ප්‍රහාර කල්වේලා ඇතිව හඳුනාගැනීමේ ක්‍රමයක් ක්‍රියාවට නැංවිය යුතුය.
4) එමෙන්ම මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානයන්හි වැඩසටහන්/ප්‍රසංග වැනි කරුණු සඳහා අනුමැතිය ලබා දීමේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් දිය යුතුය.
මෙසේ තිබියදී දේශබන්දු තෙන්නකෝන් සිදු කර ඇත්තේ මෙම ලිපිය කෙටි අවාරණ ලිපියක් සමඟ ඔහු යටතේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් වෙත යොමු කිරීම පමණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලබා දුන් ප්‍රධාන උපදෙස් හතර ඒ ආකාරයට ක්‍රියාත්මක කළේ නැත. අඩු තරමේ ඉහළින් ලැබුණු ලිපිවල තොරතුරුවලට අමතරව නිලධාරීන් කළ යුත්තේ කුමක්ද යන්න ගැන උපදෙස්වත් ඔහුගේ ආවරණ ලිපියට ඇතුළත් කළේ නැත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබා දී තිබූ අදාල උපදෙස් ඒ ආකාරයට ක්‍රියාත්මක වී නම් මෙම ප්‍රහාර වලක්වා ගැනීමට හැකියාව තිබූ බව මලල්ගොඩ කමිටු වාර්තාවේ සඳහන් වෙයි.
එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පිතවරයා ලබා දුන් උපදෙස් ඒ ආකාරයටම ක්‍රියාත්මක කළේ නම් කටුවාපිටි ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබූ බව තමා පිළිගන්නා බවට දේශබන්දු තෙන්නකෝන් ජනාධිපති විමර්ශන කොමිසමට ලබා දුන් සාක්කියේ දී පිළිගත්තේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවන ලද අදාල ලිපි කට්ටල තමා පහළ නිලධාරීන්ට යැවූ බවත්, අප්‍රේල් 18 වැනිදා රාජකාරි කර තමා නිවාඩු ගිය බවත්, බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ තමා සිටියේ මහියංගනය ප්‍රදේශයේ බවත් තෙන්නකෝන් සාක්කියේදී කියා තිබේ.
පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වන බවට සඳහන්ව තිබෙන නිසා කිතුණු පියතුමකුවටවත් මේ ගැන දැනුම් නුදුන්නේදැයි දේශබන්දු තෙන්නකෝනගෙන් පාස්කු කොමිසමේ සිටි විනිසුරුවරුන් විමසද්දී ඔහු කියා සිටියේ දැනුම් නුදුන් බවයි. නුදුරේදීම පල්ලිවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී පාස්කු දිනය යනු නුදුරුම දිනයක් බවට සරල වැටහීමක් තිබියදීත් නිවාඩු යාමට පෙර තම ආරක්ෂක සැලැස්ම ගැන වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස් දුන්නේදැයි කොමිසම ප්‍රශ්න කළ විට දේශබන්දු තෙන්නකෝන් කියා ඇත්තේ තමා එලෙස නොකළ බවයි.
බුද්ධි තොරතුරේ සඳහන්ව ඇත්තේ ප්‍රසිද්ධ පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවන බවයැයිද, කටුවාපිටිය යනු ප්‍රසිද්ධ පල්ලිය ප්‍රසිද්ධ පල්ලියක් ලෙස හඳුනා නොගත් බව ද දේශබන්දු තෙන්නකෝන් සඳහන් කර තිබේ. එම පල්ලියට පිට පළාත්වලින් පිරිස් නොපැමිණෙන බව දේශබන්දු තෙන්නකෝන් පාස්කු කොමිසමේ දී කියද්දී ඔහුගේ සාක්කි මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයා විමසුවේ ‘ඒ තමුන් කියන්නේ පිට පළාත්වලින් එන්නේ නැත්නම් ඒ පළාතේ ඉන්න කට්ටියගේ ආරක්ෂාව සලස්වන්න හොඳ නැහැ කියලද?‘ යනුවෙනි. දේශබන්දු තෙන්නකෝන් කටුවාපිටිය දේවස්ථානය ප්‍රසිද්ධ දේවස්ථානයක් සහ පිටස්තරයන් පැමිණෙණ දේවස්ථානයක් බවට වසං කිරීමට උත්සාහ කළේ ලෙඩ රෝග සුව කර ගැනීමට සහ වෙනත් කාරණාවලට පිට ප්‍රදේශවලින් බැතිමතුන් කටුවාපිටිය දේවස්ථානයට පැමිණෙන පසුබිමකය.
‘කටුවාපිටිය ප්‍රසිද්ධ පල්ලියක් නෙමෙයි කියලා නිමගනය කළේ කවුද? තමන්ලද, කවුද?‘, ‘මම අහන්නේ තමන් දුන්නද ඒ උපදෙස ආරක්ෂක සැලැස්මවල් හදන්න?‘, ‘ෂෝර්ට්ලි කියන වචනයෙන් අර් දක්වන්නේ ඉතා ඉකම්ණින් කියලා කිව්වොතින් එහෙම නැත්නම් ඔය ලිපිය ලැබිච්ච මොහොතේ සිට ඕනම අවස්ථාවක මේක වෙන්න පුලුවන් කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද?‘ ආදී වශයෙන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් තෙන්නකෝන්ගෙන් පාස්කු කොමිසමේදී ප්‍රශ්න කර තිබේ.
එසේම ‘දැන් එතකොට ප්‍රහාරකයෝ කවුද, ප්‍රහාරය එල්ල වෙන්න නියමිතව තිබෙන්නේ කාටද, ප්‍රහාර එල්ල වෙන්න නියමිත ස්ථාන මොනවද, කාලය කියන හතරම ඔය බිද්ධි තොරතුරේ සටහන් වෙලා තියෙනවා කිව්වොත් මහත්මයා පිළිගන්වද?‘ යනුවෙන් විමසූ විට දේශබන්දු තෙන්නකෝන් එය පිළිගත්තේය. එනම් ප්‍රහාරය ගැන නිශ්චිත තොරතුරු තිබියදී දේශබන්දු තෙන්නකේන් එය වලක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදී නැත.
2019 පාස්කු දේව මෙහෙයට අදාලව ඇතැම් පල්ලිවලට ආරක්ෂක සැලැස්මක් සකස් කර තිබුණද කටුවාපිටිය පල්ලියට එවැනි සැලැස්මක් සකස් කර නොතිබූ බව පාස්කු කොමිසමේදී හෙලිදරව් විය.
දේශබන්දු තෙන්නකෝන්ගේ මෙම ක්‍රියාකලාපය වගකීම් පැහැර හැරීමක්ද එසේ නැත්නම් චේදනාන්විතව ප්‍රහාරය වීමට ඉඩ හැරීමක්ද යන්න ගැන අපරාධ විමර්ශනයක් සිදුවිය යුතු බවට විවිධ පාර්ශ්ව ප්‍රකාශ කළද මේ වන තෙක් එවැනි විමර්ශනයක් සිදුවී නැත.
එසේම ගැලනිගමදී බෝබ්ම ලොරියක් නිදහස් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකු කළ නියෝගයක් ගැන පාර්ලිමේන්තුවේදී වරින්වර කතාබහට ලක්විය. ගැලනිගමදී ලොරියක් නිදහස් කරන ලෙස දැනුම් දුන්නේ දේශබන්දු තෙන්නකෝන් බවටද කියැවිණි. කෙසේ වෙතත් ආණ්ඩුවෙක් ප්‍රකාශ කළේ එම ලොරියේ සිටියේ විසිතුරු මසුන් බවයි. කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිගේ බලප්‍රදේශයේ තිබුණු සහරාන්ලාගේ කටුවාපිටිය ආරක්ෂිත නිවාසයේ සිට පානදුරට දක්වා බෝම්බ ද්‍රව්‍ය හුවමාරුවක් සිදුවී ඇති බව සහරාන්ගේ බිරිඳගේ සාක්කියෙන් පාස්කු කොමිසමේදී අනාවරණය විය. කටුවාපිටියේ සිට කටුනායක හරහා අධිවේගී මාර්ගයේ ගොස් ගැලනිගමින් පිටවී පානදුරට යාමට හැකියාව ඇති අතර මෙම සිදුවීම් අතර අන්තර් සම්බන්ධතාවය ගැන මේ වන තෙක් නිසි විමර්ශනයක් සිදුවී නැත.
පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව දේශබන්දු තෙන්නකෝන් සම්පන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන ලෙස නිර්දේශ කර ඇති අතර එම නිර්දේශය අනුව සාධාරණ විනය පරීක්ෂණයක් මේ වන තෙක් සිදුවී නැත. දේශබන්දුට එරෙහිව විනය පරීක්ෂණයක් නිර්දේශ වූයේ එම කොමිසමෙන් පමණක් නොවේ. පාස්කු දින ප්‍රහාරයට අදාලව වගකීම් පැහැර හැරි පොලිස් නිලධාරීන් සම්බන්දයෙන් නීතිපතිගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් සිදු කළ අතර එමගින්ද දේශබන්දු තෙන්නකෝන් මේ සදගා වකවිය යුතු පුද්ගලයකු ලෙස නිර්දේශ කළේය. ඔවුන් විසින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා පත්‍රයක් කෙටුම්පත් කර පොලිස්පතිට ලබා දුන් අතර එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න එම චෝදනාපත්‍ර කෙටුම්පත් සහ වාර්තාව පොලිස් කොමිසමට ලබාදීම ද සිදුවිය.
පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වූ දේශබන්දු තෙන්නකෝන් පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට යෑම ඇතැම්විට පාස්කු වින්දිතයන් විහිළුවකට ගැනෑමක් ලෙස ද හැඳින්විය හැකිය. මෙවැනි චූදිතයකු, වගඋත්තරකරුවකු, වගකීම් විරහිතව වැඩ කළ පුද්ගලයකුට කටුවාපිටිය දේවස්ථානයට පැමිණීමට ඉඩ දීම ඊටත් වඩා විහිළුසහගතය. හිරේ සිටිය යුතු පුද්ගලයකු පොලිස්පති පුටුවේ වාඩිගෙන කටුවාපිටිය පමණක් නොව රටම විහිළුවට ගනිමින් සිටී.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අවුරුදු පහක් පිරෙන මොහොතේත් දේශබන්දු තෙන්නකෝන්ට නීතිය ක්‍රියාමක වී නැත. ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන මැන ගැනීමට එය හොඳ නිදර්ශනයකි.
Source- What News