ගෝඨා යටතේ විමර්ශකයන් තිස් ගණනක් ඉවතට
දැනට නඩු දමා ඇත්තේ ගෝඨා එන්න පෙර අත්අඩංගුවට පත්වූවන්ට
ප්‍රහාරය සඳහා මුදල් වියදම් කළ බවට ඊබ්‍රහිම්ට චෝදනා නෑ
(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන දෙකක්, ක්‍රිස්තියානි දේවස්ථානයක්, හෝටල් කිහිපයක් ඇතුළු ස්ථාන 08ක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කර වසර 05ක් පිරීම නිමිත්තෙන් පෙරේදා (4) ස්ථාන කිහිපයකදී විරෝධතා සහ ස්මරණ වැඩසටහන් පැවැත්විණි. පාස්කු විමර්ශන හරි හැටි ඉටු නොකරන බවට ආණ්ඩුවට ලොකු චෝදනාවක් එල්ල විය. ඊට ප්‍රතිචාර ලෙස ආණ්ඩුව විවිධ අවස්ථාවල විවිධ කරුණු ප්‍රකාශ කළ අතර ‘පාස්කු ප්‍රහාරයේ ඇත්ත‘ මැයෙන් ලියවිල්ලක් ද නිකුත් කළේය. එම වාර්තාවේ සඳහන් කරුණුවල අසත්‍ය බව පෙන්වීම මෙම ලිපියේ අරමුණයි.
පාස්කු ඉරිදා සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් විමර්ශන පහක් සිදුවිය. ඒ විජිත් මලල්ගොඩ කමිටු විමර්ශනය, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා විමර්ශනය, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා විමර්ශනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි-රවී සෙනවිරත්නගේ අධීක්ෂණයෙන් වූ අපරාධ විමර්ශනය සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු ශානි-රවී නොමැතිව වෙනත් පිරිසක් ලවා කළ විමර්ශනය වශයෙනි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සෘජුව අධීක්ෂණය කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉවත් කිරීම 2019 නොවැම්බර් බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂට තම අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමටත් පෙර සිදු කිරීමට අවශ්‍ය විය. අබේසේකර මාරු කළේ අගමැති පත් කිරීමටත් පෙරවීම විශේෂත්වයකි. අබේසේකර ඉවත් කර සීඅයිඩියේ 700කට ආසන්න පිරිසකට නීති විරෝධී ලෙස විදෙස් ගමන් තහනමක් පැනවීය. අනතුරුව විමර්ශන අධීක්ෂණය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විශ්‍රාම ගිය අතර විමර්ශන අවසන් වන තෙක් සේවා දිගුවක් ලබාදීමට කටයුතු කළේ නැත.
ප්‍රධාන විමර්ශකයන් සහ අධීක්ෂකයන් වූ පී කේ ඩී ප්‍රියන්ත, පියසෙන් අම්පාවිල, නුවන් අසංක, ඩී ඩබ්ලිව් වික්‍රමසේකර, ජේ පී ඩී ජයසිංහ, බී එස් තිරේරා, කලනසිරි, හේමන්ත ගුණසේකර, ඉන්දික ලොකුහෙට්ටි, දර්ශිකා කුමාරි, තනුජා හෙලඋඩගේ, නාමලී හේරත්, කීර්තිසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීහු 30කට අධික පිරිසක් ඉවත් කරනු ලැබූහ. ඉන් පසු විමර්ශන බාර දුන්නේ විවිධ චෝදනා එල්ල වූ සහ ඇතැම් අවස්ථාවල වැඩතහනමට පවා ලක්වූ මෙරිල් රංජන් ළමාහේවා වැනි නිලධාරීන් වෙතය.
රජයේ ආයතනයක් වූ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් කරගෙන ගිය ‘ෆැක්ට් රිසර්ච්‘ නම් වැඩසටහන නමින් ‘පාස්කු ප්‍රහාරයේ ඇත්ත‘ මැයෙන් වාර්තාවක් එලිදැක්විණි. ඒ 2021 වසරේදී පමණය. ‘වත්මන් රජය බලයට පත් වෙලා වසර එක හමාරක් පමණ ගතවූ පසු පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු කරන්න අරන් තියෙන පියවර මොනවාද?‘ මැයෙන් එහි අවසානයේ ලැයිස්තුවක් පළ කර තිබේ.
එහි පළමු වැන්න ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි මේ වනවිට අත්අඩංගුවට අරං අවසන්‘ යන්නය. පාර්ලිමේන්තුවේ පාස්කු සම්බන්ධයෙන් පැවැති විවාදවලදී සහ කතා බස්වලදී නවුෆර් මවුලවි ගැන ආණ්ඩුවෙන් ප්‍රකාශ කළේ සහරාන්ට අන්තවාදී දේශන සහිත පෙන් ඩ්‍රයිව් එකක් මුලින්ම ලබාදී ඇත්තේ ඔහු යන්නය. නමුත් ඔහු මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවෙක්ද යන්න ගැන කිසිම කරුණක් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර නැත. දැනට ඇති තොරතුරු අනුව නවුෆර් සහ සහරාන්ගේ කණ්ඩායම අතර අවසන් කාලයේ යම් මතගැටුමක් පැවත තිබේ. ඒ අනුව නවුෆර් අන්තවාදියකු වුවත් 2019 අප්‍රේල් 21 ප්‍රහාරයට ඔහුගේ සෘජු අදාලත්වයක් ගැන මෙතෙක් ආණ්ඩුව ප්‍රකාශ කර නැත. නවුෆර් මහ මොළකරු කිරීම හුදු ආණ්ඩුවට මහමොළකරුවකු නිර්මාණය කර පෙන්වීමේ අවශ්‍යතාවයේ කොටසක් පමණි. අනෙක් කරුණ නවුෆර් අත්අඩංගුවට පත්වූයේ බෝම්බ සිද්ධියෙන් දිනකට පසුව වීමය. නවුෆර් අත්අඩංගුවට ගත්තේ ගෝඨාගේ රජය යටතේ නොවේ.
ඊළඟට එම වාර්තාවේ සඳහන් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට දැඩිව චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි යන දේශපාලන ප්‍රබලයක් අත්අඩංගුවට ගෙන අවසන් බවයි. වාර්තාව එළියට දාන විට ඔවුන් අත්අඩංගුවට ගෙන අවසන් වී තිබුණද මේ වන විට ඔවුන් නිදහස්වී හමාරය. බැලූ බැල්මට රිෂාඩ්ට සහ අසාත් සාලිට එරෙහිව කිසිම සාක්කියක් පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව නොතිබිණි. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ හුදු මේ සම්බන්ධයෙන් වන සැකය නැවත වරක් මුස්ලිම් ප්‍රහාරව වෙතම තල්ලු කිරීම සඳහා පමණි. එය ද පාස්කු මහමොළකරුවන් බේරීමේ උත්සාහයේ තවත් එක් කොටසක් බව බැලූ බැල්මට පෙනී යයි.
එම ලේඛනයේ ඊළඟට සඳහන් වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට මුදල් වියදම් කළ ජවිපේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් ඊබ්‍රහිම් සිරගත කොට අවසන් බවයි. එය ද අසත්‍යකි. ප්‍රහාරය වූ දිනයේම ඊබ්‍රහිම් අත්අඩංගුවට ගත්තේ සිද්ධියට සැකපිට මිසක ඔහු ප්‍රහාරයට මුදල් වියදම් කිරීම මත නොවේ. ඔහු අත්අඩංගුවට ගත්තේ ඔහුගේ පුතුන් දෙදෙනා සම්බන්ධයෙන් වන තොරතුරු ප්‍රහාරයට පෙර ලබාදීමට අපහොසත්වීම මතය. ඒ අනුව ඔහුට සහ ඔහුගේ තවත් පුතුන් දෙදෙනකුට එරෙහිව ඊට අදාලව නඩු පවරා තිබේ. ඔහුට එරෙහිව නඩුව තවමත් අවසන් නැත. දැන් ඔහු ඇප පිට සිටියි. ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව මුදල් වියදම් කළ බවට සාක්කි තිබිණි නම් ප්‍රධාන නඩුව වන 25 දෙනාගේ නඩුවේ සැකකරුවකු කළ යුතුව තිබිණි. එසේ සිදු කර නැත. එසේ තිබියදී ඔහු සිරගත කර අවසන් බවට ආණ්ඩුවේ ලේඛනයේ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර තිබේ.
ආණ්ඩුවේ ලේඛනයේ මීළඟට සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරකයන්ට න්‍යායාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන අවසන් බවයි. හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරකයන්ගේ න්‍යාචාර්යවරයකු බව කියන්නට කිසිම සාක්කියක් නැත. රජය හිජාස්ට නඩු දමා ඇත්තේද ඔහු පාස්කු ප්‍රහාරකයන්ට න්‍යායාචාර්යවරයකු ලෙස කටයුතු කළ බව කියන චෝදනාවකට අදාලව ද නොවේ. හිජාස්ට තිබූ චෝදනාව පුත්තලම මද්‍රසා පාසලක සිසුන් පිරිසකට අන්තවාදී දේශන සිදු කළා යන්නය. ළමයින් හතලිස් ගණනක් සිටින පාසලේ එම ප්‍රකාශය කර ඇත්තේ ළමයින් දෙදෙනෙක් හෝ තිදෙනෙක් පමණි. තමන්ට සීඅයිඩිය එවැනි ප්‍රකාශයක් කරන ලෙස බලපෑම් කළ බව කියමින් සිසුන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කර තිබේ. එසේම හිජාස්ගේ නඩුවේ සාක්කිකරුවන් මහාධිකරණයේ සාක්කි දෙද්දීද හිජාස්ට එරෙහිව සාක්කි ලබාදී නැත. එක් සාක්කිකරුවකු ප්‍රකාශ කළේ තමාට සීඅයිඩිය ඡායාරූප පෙන්වමින් යම් යම් දේ කී බවයි. ඒ අනුව හිජාස් මහමොළකරු කිරීමේ නාට්‍යයද ආණ්ඩුවේ අසාර්ථක පිටපතක් වී අවසන්ය. හිජස්ට එරෙහිව පාස්කු කොමිසමේ සාක්කි ලබා දී තිබුණේ වර්තමානයේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තුවාන් සුරේස් සලේ වන අතර ඔහු හා හිජාස් අතර 2014 දී වාග් හුවමාරුවක් වූ බව අපි මීට පෙර කරුණු සහිතව අනාවරණය කළෙමු.
ආණ්ඩුවේ ලේඛනයේ මීළඟට සඳහන් කර ඇත්තේ මාවනැල්ල බුදුපිළිම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අවසන්ව තිබෙන බවයි. මාවැනැල්ල බුදුපිළිම සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුවන් දෙදෙනා හැර සෙසු සියලුම දෙනා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවීමටත් පෙර අත්අඩංගුවට ගෙන අවසන් වූ අතර පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයක් ඇතුළත ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැණිනි. බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් වැඩි දෙනෙක් අත්අඩංගුවට ගත්තේ එම සිද්ධිය වන අවස්ථාවේ කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිව සිටි පාලිත සිරිවර්ධනගේ සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ කෑගල්ල පොලිසිය සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසිනි. එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් පසු ශානි අබේසේකරගේ සහ රවී සෙනවිරත්නගේ අධීක්ෂණය යටතේ සෙසු සැකකරුවෝ අත්අඩංගුවට පත්වූහ. ඔවුන්ට අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ සහරාන් හෂීම් පමණි. එම විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම සිදුවූයේ ගෝඨාභය රජය බලයට පත්වීමට පෙරය. පාස්කු ප්‍රහාරයට අදාලව දැනට අවසන්ව ඇති එකම නඩුව ද එම මාවනැල්ල පුදුපිළිම සිද්ධියට අදාල නඩුවයි. එම සැකකරුවන්ට එරෙහිව පැවැති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වන චෝදනා වර්තමාන රජය යටතේ ඉල්ලා අස්කර ගැණිනි. ඒ අනුව 2023 ජනවාරි 18 වැනිදා නඩුව අවසන් වූ අතර සැකකරුවන් 16 දෙනකුට පමණ අත්හිටවූූ සිරදඬුවම් නියම විය.
සහරාන් හෂීම් ඇසුරු කළ 25 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණ්ඩුව නිකුත් කළ වාර්තාවේ මීළඟට සඳහන් වේ. එම සියලුම දෙනා අත්අඩංගුවට ගත්තේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමට පෙර ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන දෙදෙනාගේ අධීක්ෂණය යටතේ පැවැති විමර්ශනවලදීය. ඊට රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර කාර්යාලයද සහාය දක්වා තිබිණි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් 724ක් අත්අඩංගුවට ගෙන අවසන් බව ආණ්ඩුවේ ලේඛනයේ සඳහන් වුවද, එම පිරිස අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සැකපිට නොවේ. ඔවුන් සියලු දෙනාම පාහේ අත්අඩංගුවලට ගත්තේ සහරාන්ලාගේ දේශනවලට සහභාගී වීම සහ අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීම මත වේ. එයින් වැඩි පිරිසක් දැන් නිදහස් වී තිබේ. ඔවුන්ගෙන් මහාධිකරණයේ අධිචෝදනා ගොනුවී ඇත්තේ 94 දෙනකු සඳහා පමණි. එම 94 දෙනාම පාහේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමට පෙර ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන නිලධාරීන් දෙදෙනාගේ අධීක්ෂණය යටතේ පැවැති විමර්ශනවලදී අත්ඩඅංගුවට පත්වූවෝය. කිහිප දෙනකු අදාල සාමාන්‍ය පොලිසිවලින් අත්අඩංගුවට ගත්තවුන් වන අතර එම අත්අඩංගුවට ගැනීම් ද සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමට පෙරය.
මෙම විමර්ශනවලට අදාව බැංකු ගිනුම් 100ක් අක්‍රීය කිරීම ගැනත්, දුරතන අංක 21000ක් විශ්ලේෂණය කිරීම ගැනත් ආණ්ඩුවේ වාර්තාවේ සඳහන් කර තිබුණද ඒ සියල්ල ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමට පෙර සිදුවූ විමර්ශන වේ.
ගෝඨාභය බලයට පත්වූ පසු සිදු කළේ මීට පෙර සඳහන් කළ පරිදිම මේ සියලු විමර්ශන අධීක්ෂණය කළ, මෙහෙවූ නිලධාරීන් ඉවත් කර තමන්ට හෝ තමන්ගේ පිරිසට හිතවත් හෙංචයියන් පත් කිරීම සහ ඔවුන් ලවා මහමොළකරුවකු නිර්මාණය කිරීම සඳහා හිජාස්, රිෂාඩ්, අසාත්සාලි වැන්නවුන් අත්අඩංගුවට ගැනීම පමණි. ගෝඨාගේ කාලයේ අත්අඩංගුවට ගත් සියලුම දෙනා පාහේ මේ වන විට මුදා හැර සිටිති. තවමත් නඩු ඇත්තේ කිහිප දෙනකුට පමණි. ආණ්ඩුව පාස්කු විමර්ශනවලට අදාලව ගත් ක්‍රියාමාර්ග ලෙස අඟවමින් රජයේ දේපොළ අවභාවිත කරමින් ‘පාස්කු ප්‍රහාරයේ ඇත්ත‘ මැයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ අසත්‍ය තොරතුරු සහිත පුරවැසියන් නොමග යවන ලේඛනයකි. පාස්කු ප්‍රහාරයේ ඇත්ත හොයනවා වෙනුවට ඇත්ත නමින් බොරු ප්‍රකාශන එලිදැක්වූයේ කවුරුන්ද, ඒ කාගේ උවමනාව මතද, ඊට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න ද සොයා බැලීම වැදගත්වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හෙට (24) යළිත් පාර්ලිමේන්තු විවාදයක් ආරම්භ වේ. ‘පාස්කු ඇත්ත නමින්‘ බොරු ඉදිරිපත් කිරීම ගැන ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවදානය යොමුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
අපගේ වෙබ් අඩවියේ පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් ඊමේල් මගින් අප වෙත යොමු කළ හැකිය.
Source- What News