2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඉකුත් 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුව එම කාරණය සම්බන්ධයෙන් දැනට සිටින හා හිටපු ජනාධිපතිවරුන් විසින් පත් කරන ලද සිව්වැනි පරීක්ෂණ යාන්ත්‍රණයයි.
එම පරීක්ෂණ යාන්ත්‍රණ හතරෙන් දෙකක් එනම් කමිටුවක් හා කොමිෂන් සභාවක් පත් කරන ලද්දේ මෙම අපරාධ මාලාව සිදුවන විට ජනාධිපති ධුරයේ සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. අනෙක් දෙක එනම් පරීක්ෂණ කමිටු දෙකක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කෙරිණි.
ඉකුත් 12 වැනිදා පත් කරන ලද කමිටුවට පැවරී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තබා ලැබුණු තොරතුරු පදනම් කරගෙන රාජ්‍ය බුද්ධි සේවය හා ජාතික බුද්ධි ප්‍රධානියා ප්‍රමාණවත් අයුරින් කටයුතු කොට තිබේ දැයි සොයා බලා වාර්තා කිරීමය. මේ පිළිබඳ වාර්තාව ලබන සැප්තැම්බර් 15 වැනිදාට ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කමිටුවේ සභාපතිවරිය වශයෙන් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මිය පත් කරනු ලැබ සිටින අතර කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ පරිපාලන සේවා නිලධාරිනියක වන කේ.එන්.කේ. සෝමරත්න හා නීතිඥ ඩබ්ලිව්. එම්.ඒ.එන්. නිශාන්ය. සිද්ධියට අදාළව රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානි හා ජාතික බුද්ධි ප්‍රධානි යන දෙදෙනාගේ කටයුතුවලට අමතරව 2018 නොවැම්බර් 30 වැනිදා නැගෙනහිර පළාත් වවුනතීවු හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස කොටි සංවිධානය සිටි බවට හමුදා බුද්ධි අංශය දැරූ විශ්වාසයට පාදක වූ තත්වය පිළිබඳවද මෙම කමිටුව පරීක්ෂණ පවත්වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ කමිටු දෙකම, එනම් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිටුපස රාජ්‍ය බුද්ධි සේවය සිට ඇති බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනී නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව හා මේ මාසයේ පත් කරන ලද කමිටුව කතෝලික සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මේවා නිරර්ථක කටයුතු ලෙස බැහැර කරන එම සභාව ඒ වෙනුවට මෙම අපරාධ මාලාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
ජනාධිපතිවරුන් දෙදෙනකු විසින් පත් කරන ලද මෙම පරීක්ෂණ යාන්ත්‍රණ හතරට අමතරව මේ වනවිට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද පරීක්ෂණ දෙකක් අවසන් කොට තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂණ මූලික අයිතිවාසිකම් නඩුවකි.
මේ අනුව මේ වන විට මෙම ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පත් කරනු ලැබූ හා අධිකරණ පරීක්ෂණ මෙසේය.
පළමුවැන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බෝම්බ පිපිරීම් සිදුවූ දිනට පසුදින එනම් 2019 අප්‍රේල් 22වැනිදා පත් කරන ලද කමිටුවයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ අනෙක් සාමාජිකයන් වූයේ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්නයි. එම කමිටුවේ වාර්තාව එම වසරේම ජූනි 10 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දෙනු ලැබීය.
ඉන්පසු මෙම සිද්ධියෙන් මසකට පසු 2019 මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවක් අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලදී. මෙය බොහෝ දුරට එවක අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව පත් කෙරුණකි.
එම කාරක සභාවට පැවරී තිබූ කාර්යයන්ගෙන් එකක් වූයේ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට කල් තබා තොරතුරු ලැබී තිබුණේද යන්න හා ඒ තොරතුරු අනුව ඔවුන් ප්‍රමාණවත් ලෙස පියවර ගෙන තිබුණේද යන්න සොයා බැලීමයි.
තුන්වැනිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 සැප්තැම්බර් 20 වැනිදා විශේෂ ගැසට් පත්‍රයක් මගින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය. අභියාචනාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් වූ එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු හා අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. එම්.එම්. අධිකාරී යන අයයි.
මෙම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2021 පෙබරවාරි 1 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. කතෝලික සභාව ක්‍රියාත්මක කරන්නට කියන්නේ මෙම වාර්තාවේ නිර්දේශයි.
මේ අතර මෙම සිද්ධියට අදාළව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් කෝටි 10ක්ද පොලිස්පති පූජිත් ජයසුන්දර හා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන රුපියල් කෝටි හත හමාර බැගින්ද ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් කෝටි 5ක්ද ජාතික බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් රුපියල් කෝටියක්ද වශයෙන් සිද්ධියෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවිය යුතුයැයි පසුගිය වසරේ ජනවාරි 12 වැනිදා නියම කළේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී චැනල් ෆෝ නාලිකාව බෝම්බ ප්‍රහාරය පිටුපස රාජ්‍ය බුද්ධි සේවය සිටින බව හැඟවෙන වාර්තා වැඩ සටහනක් විකාශය කළේය. ඒ පිළිබඳව ඇති වූ ආන්දෝලනය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 10 වැනිදා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේය. හිටපු ගුවන් හමුදාපති ඒ.සී.එම්. ජයලත් වීරක්කොඩි හා ජනාධිපති නීතිඥ හර්ෂ ඒ.ජේ. සෝසා යන දෙදෙනා එම කමිටුවේ අනෙක් සාමාජිකයෝ වූහ.
එම කමිටුව එම වසරේම ඔක්තෝබර් 31 වැනිදාට ප්‍රථම සිය වාර්තාව ජනාධිපතිවරයාට බාර දිය යුතු විය. එම කාලය දීර්ඝ කර ගෙනදෝ තවමත් එම වාර්තාව පිළිබඳව ආණ්ඩුව කිසිවක් මෙතෙක් නිලවශයෙන් නිවේදනය කළේ නැත.
පසුගිය 12 වැනිදා මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට බලපෑ බුද්ධි අංශයේ දුබලතා ගැන විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා තවත් කමිටුවක් පත් කළේ ඒ පසුබිම යටතේය.
මෙම සිද්ධිය පිටුපස විශාල කුමන්ත්‍රණයක් තිබී ඇතැයි එම සිද්ධිය සිදුවූ කාලයේ නීතිපතිවරයා ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා ජනමාධ්‍ය සාකච්ඡාවක දී පවසා තිබිණි. පසුගිය වසරේ ඉමාම් කමිටුව පත් කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේම ලිවේරා මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්ද පත් කරන්නට ජනාධිපතිවරයා අදහස් කරන බවද සඳහන් විය. එහෙත් ඉන්පසු ඒ ගැන ජනාධිපතිවරයා තවදුරටත් උනන්දු වන බවට කිසිදු ප්‍රකාශයක් කොහිවත් සඳහන් වූයේ නැත.
මේ සියල්ලටම අමතරව මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය පිටුපස සිටි ජාතික තව්හිද් ජමාඅත් සංවිධානයට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවේ සිටිති. ඉන් 25 දෙනකුට එරෙහිව රහස් පොලීසිය පරීක්ෂණ පවත්වා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබ ඇත.
මේවායින් රහස් පොලිස් පරීක්ෂණ හැර අනෙක් සියල්ලේදීම බෝම්බ ප්‍රහාරය පිළිබඳව විදේශ ඔත්තු සේවා මඟින් දෙන ලද තොරතුරු පිළිබඳවත් ඒවා සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ නිසි පරිදි ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳවත් විමසා බැලුණු බව පෙනෙන්නට තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා හා ජාතික බුද්ධි ප්‍රධානියා වන්දි ගෙවිය යුතුයැයි නියෝග කළේ ඒ අනුවය.
මෙම ජාතික විමර්ශනවලට අමතරව විදේශ බුද්ධි අංශ මගින්ද මෙම සිද්ධිය ගැන විමර්ශන කර තිබේ. ඒවා ගැන නිශ්චිත විස්තර එතරම් සොයා ගන්නට නොහැකි වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 2 වැනිදා ජර්මනියේ බර්ලින් නුවරදී එරට ඩවුෂ් වෙල රූපවාහිනියේ මාර්ටින් ගැක් සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ඒ ගැන සඳහනක් කර තිබිණි. ඇමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. බ්‍රිතාන්‍ය පොලීසිය හා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය හා පාකිස්තානය යන රටවල බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කොට තිබෙන බව වික්‍රමසිංහ මහතා එහිදී පවසා තිබිණි.
යහපාලන ආණ්ඩුව පැවැති කාලයේදී පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැවරී තිබුණු වගකීම් අතර ද බුද්ධි අංශ දුර්වලතා පිළිබඳව විමර්ශනය ඇතුළත්ව තිබිණි. එහෙත් ඒ කිසිවකින් ජනාධිපතිවරයා සෑහීමකට පත් නොවන බව බුද්ධි අංශ දුබලතා ගැන විමර්ශනය කිරීම සඳහාම දැන් අලුතින්ම තවත් කමිටුවක් පත් කිරීමෙන් පෙනේ.
ජනාධිපතිවරයා මෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරය වූ කතෝලික ප්‍රජාව නියෝජනය කරන කතෝලික සභාවද මේ පරීක්ෂණ කිසිවකින් සෑහීමකට පත්වී නැත.
එම සභාවේ ප්‍රධාන චෝදනාව වී ඇත්තේ ප්‍රහාරයේ මහ මොළකරු හෙළිදරව් කර ගැනීම සඳහා බලධාරීන් උනන්දුවක් නොදක්වන බව හා මෙම අපරාධය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන් හට එරෙහිව බලධාරීන් නිසි නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවය. කාන්තාවන් ළමයින් ඇතුළු 300කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළ අපරාධයක් සම්බන්ධයෙන් පීඩිත ප්‍රජාව එසේ අතෘප්තියෙන් සිටීම එම අපරාධය සිදුවූ දා සිට බලයේ සිටි නායකයන්ට එරෙහි චෝදනා පත්‍රයකි.
Source- The Leader