රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව කෙටුම්පත් කරන ලද අධිකරණයට අපහාස කිරීමේ චෝදනා අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි, නීතිපතිවරයා විසින් අද (සැප්තැම්බර් 24 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඒ,පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ගැන කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව අධිකරණය නියම කරන ලද රුපියල් මිලියන 75 ක වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම හේතුවෙනි.

එම කරුණ සලකා බැලූ අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, වගඋත්තරකාර නිලන්ත ජයවර්ධනට ලබන ඔක්තෝම්බර් මස 7 වැනිදා පුද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටත් නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා, ඒ එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නියම වූ රුපියල් මිලියන 100 ක වන්දිය සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට නියම වූ රුපියල් මිලියන 75 ක වන්දිය ඔවුන් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇතැයි දැනුම් දුන්නේය.

ඒ බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද තහවුරු කළේය.

එහෙත් අදාළ පෙත්සම්වල තවත් වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට නියම වූ රුපියල් මිලියන 75 ක වන්දියෙන් ඔහු විසින් ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 10 ක් පමණක් බවත් තවත් රුපියල් මිලියන 65 ක් ඔහු විසින් ගෙවීමට තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් මීට පෙර අධිකරණය කළ නියෝගයට අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව කෙටුම්පත් කරන ලද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාපත්‍ර අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

‘ඉතිරි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීම ප්‍රායෝගිකව අපහසුයි’

මෙහිදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා තිබෙන අතර ඔහුගේ මාසික වැටුප රුපියල් 127000ක් පමණක් බව සඳහන් කළේය.

ඉන් ඔහුට ගෙවිය හැක්කේ මාසිකව රුපියල් 40000/- ක මුදලක් පමණක් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

මෙම තත්ත්වය යටතේ අධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75 ක වන්දි මුදලින් ඔහුට ගෙවිය හැක්කේ රුපියල් මිලියන 10 ක් පමණක් බවත් ඉතිරි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීම ප්‍රායෝගිකව ඔහුට අපහසු කාර්යයක් බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

අධිකරණ නියෝග පරිදි සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහු අධිකරණයෙන් සමාව අයැද සිටින බවත් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තම සේවා දායකයා තුළ නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

එබැවින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ ව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මේ සම්බන්ධයෙන් සානුකම්පිතව කරුණු සලකා බලන ලෙසත්, නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අග විනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කළ අතර ඒ අනුව ඔහුට ඔක්තෝබර් මස 7 වැනිදා පෙරවරු 9.30 ට අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධීවරයාට නියෝග කළේය.

අනිවාර්ය නිවාඩු යවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් පැවසීය.

හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් ඉදිරියේ එම විනය පරීක්ෂණය සිදුකෙරෙන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව විනය පරීක්ෂණය දින හයක් පවත්වා සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.

එහෙත් එම කමිටුවේ සාමාජික හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්ත පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වීම් ලැබ සිටින හෙයින් එම පුරප්පාඩ වූ තනතුර වෙනුවෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම සඳහා අධිකරණ සේවා කොමිසමෙන් මහාධිකරණ විනිසුරුවරුන්ගේ නාම ලේඛනයක් කැඳවා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටියේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මෙම නඩුකරය හරහා නියම වූ වන්දි මුදල්වලින් රුපියල් මිලියන 246 ක් හානි පූර්ණ කාර්යාලයට ලැබී තිබෙන අතර ඉන් රුපියල් මිලියන 62 ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වෙනුවෙන් ගෙවීමට කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය.

මෙහිදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වන්දි ගෙවීම සඳහා පියවර ගැනුණු වින්දිතයින්ගේ නාම ලේඛනයක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

මෙම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් විසින් කොළඹ සහ මීගමුව දිසා අධිකරණවල නඩු තුන්සියයක් පමණ ගොනුකර තිබෙන බවත් අදාළ නාම ලේඛනය ලබාදෙන්නේ නම් වන්දි හිමිවූ පුද්ගලයින්ට එම නඩු ඉවත් කර ගැනීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සඳහන් කර සිටියේ ය.

මෛත්‍රීපාල සහ පූජිත නඩු කටයුතු වලින් මුදා හරී

අධිකරණ නියෝග පරිදි වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබෙන මෛත්‍රීපාල සිරිසේන සහ පූජිත ජයසුන්දර මෙම නඩු කටයුතු වලින් මුදා හැරීමටද විනිසුරු මඩුල්ල නියම කළේය.

එසේම අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම්කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට නියම වූ රුපියල් මිලියන 50 ක වන්දිය සහ හිටපු ජාතික බුද්ධි ප්‍රදානී සිසිර මෙන්ඩිස්ට නියම වූ රුපියල් මිලියන 10ක වන්දිය ඔවුන් විසින් මීට පෙර ගෙවා අවසන් කර තිබුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, කතෝලික පූජකවරුන්, සිද්ධියෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

හේමසිරි ප්‍රනාන්දු සහ සිසිර මෙන්ඩිස් මීට පෙර අදාළ වන්දි ගෙවා අවසන් කිරීම හේතුවෙන් නඩු කටයුතු වලින් මුදා හැරුණි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ හමුවේ පවතින සෙසු නඩු මොනවාද?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මේ දක්වා නඩු පවරා ඇත්තේ කාටද? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණවල විභාගවන නඩු මොනවා ද?

චෝදනා 23270 යටතේ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නඩු

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් ප්‍රධාන අපරාධ නඩුවක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වෙමින් පවතී.

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270 යටතේය.

විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනු කරනු ලැබ තිබේ.‌

නඩුවේ විත්තිකරුවන් ලෙස මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්), හයාතු මොහොමදු මිල්හාන් ( අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබූ ෆලා ), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්( අබූ මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි / අබූ ෆුර්කාන්) හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් ( අබූ මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් ( අබු හිනා), මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් ( අබු නන්ජියාර්), යාසින් බාවා අබ්දුල් රවුෆ්, රසික් රාසා හුසේන්, කච්චි මොහොමඩ් ජෙස්මින්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), මොහොමඩ් අමීන් අයන්තුල්ලා , මොහොමඩ් අක්‍රම් අහක්කම් යන අය නම් කර සිටිති.‌

ඔවුහූ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු බව හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර වරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

නඩුවට අදාළ චෝදනා මේ වන විට සම්පූර්ණයෙන්ම විත්තිකරුවන්ට කියවා දී අවසන් කොට ඇති අතර එම චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් ප්‍රධාන අපරාධ නඩුවක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය,LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් ප්‍රධාන අපරාධ නඩුවක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වෙමින් පවතී.

‌වන්දි නඩු 290ක්

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ හානිය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් 108 දෙනකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනු කරනු ලැබීය.‌

එම නඩුවල වගඋත්තරකරුවකු ලෙස එවකට අග්‍රමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ නම් කර තිබුණද ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිස් පස් වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි හෙයින් ඔහු මුදා හැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබුණි.

නඩුවේ ප්‍රධාන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන් එම නඩු වලින් මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළත් කොළඹ දිසා අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

තමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රතිපාදන නොමැති බැවින් තමන්ව එම නඩු වලින් නිදහස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

එහෙත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කොළඹ දිසාඅධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු පවත්වාගෙන යාමට තීන්දු කරනු ලැබීය.‌

තීන්දුවට එරෙහිව මෛත්‍රිපාල සිරිසේන විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ ද අධිකරණය විසින් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබුණි.‌

මේ අතර මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය හා වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් වන්දි ඉල්ලා නඩු 182 ක් මීගමුව දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබේ.

එම නඩු වල විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය නම් කර ඇති අතර එම නඩු ද මේ වනවිට විභාග වෙමින් ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, ඇතුලු චෝදනාවලට අදාළ නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනා වලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය.

ඡායාරූප මූලාශ්‍රය,ISHARA S. KODIKARA/AFP via Getty Images)

ඡායාරූප ශීර්ෂ වැකිය,පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, ඇතුලු චෝදනාවලට අදාළ නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනා වලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මිනීමැරීම ඇතුළු චෝදනා 850 බැගින් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙනම නඩු දෙකක් ගොනු කර තිබුණි.

එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනා වලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය.

මහාධිකරණය විසින් ලබාදුන් එම තීන්දුව දෝෂ සහගත බවත් එබැවින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් තිබේ.

මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ගොනු කෙරුණු අතර එහි තීන්දු ඉකුත් ජනවාරි මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.‌

ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්, වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව විසින් මේ පෙත්සම් 12 ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කළේ අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100 ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 ක් බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10 ක්ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග ලැබීය.

එම වන්දි මුදල, තීන්දුව ලබා දුන් ජනවාරි මස 12 වනදා සිට සිට මාස හයක කාලසීමාවක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි.

ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙන් රජයට නියෝග කර තිබුණි.

එහෙත් තමන්ට ගෙවන ලෙස නියම කර තිබෙන රුපියල් මිලියන 100 ක වන්දි මුදලින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 15 ක මුදලක් පමණි.

ඉතිරි වන්දි මුදල් වාර්ෂිකව රුපියල් ලක්ෂ 85 බැගින් 2024 වසරේ ජූනි මස 30 වන දා සිට ඉදිරි වසර 10 තුළ ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ගොනු කෙරුණු අතර එහි තීන්දු ඉකුත් ජනවාරි මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.‌

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කෙරුණි

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට වග උත්තර කරුවන් හා රජය අපහොසත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිය නීතීඥ ශමිල් පෙරේරා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරනු ලැබීය.

ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස මිනීමැරීම, රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරෙහිව පුද්ගලික පැමිණිල්ලක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් ජනවාරි මස ගොනු කෙරුණි.

සිරිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයෙන් වින්දිතයෙක් බවට පත් වූ පුද්ගලයෙක් එම පෞද්ගලික පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබූහ.

එම පෞද්ගලික පැමිණිල්ල සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විත්තිකාර මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබුණි.

තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බැවින් එම නඩුව විභාගයට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

එම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ මේ වනවිට විභාග වෙමින් පවතින අතර මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබ තිබේ.

ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම සඳහා වනාතවිල්ලුව, ලැක්ටෝ වත්ත ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය රැස් කිරීම සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තවත් නඩුවක් ගොනු කර ඇත.

එම නඩුවද මේ වන විටත් විභාග වෙමින් පවතී.

 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩු මොනවාද?

ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු දනිමින් ඒවා ආරක්ෂක අංශ වලට වසන් කළේ යැයි චෝදනා කරමින් දෙමටගොඩ මහවිල උද්‍යානය පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු ට එරෙහිව ද මේ වන විට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

එම නඩුවට අදාළ චෝදනා විත්තිකරුවන්ට භාරදී ඇති අතර එම නඩුව ද විභාගය ද නියම කර ඇත.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් යනු පාස්කු ඉරුදින ෂැංග්‍රී-ලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වල දී මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බ කරුවන් බව කියන ඉන්ෆාස් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් යන අයගේ පියා බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් 2021 වසරේ අප්‍රේල් මස 26 වැනිදා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.

පසුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් අතර, ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ සහෝදරයා මුදා හැරීමටද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

Source- BBC Sinhala