EA Info

2024.10.03- සීඅයිඩීය සුද්ද නොකර පාස්කු පරීක්ෂණය යළි පටන් ගන්නත් බෑ; පටන් ගෙනත් නෑ..!

2024.10.03- සීඅයිඩීය සුද්ද නොකර පාස්කු පරීක්ෂණය යළි පටන් ගන්නත් බෑ; පටන් ගෙනත් නෑ..!

(ලංකා ඊ නිව්ස් -2024.ඔක්.02, ප.ව.11.00) රනිල් රාජපක්ෂ සහ ටිරාන් අලස් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පත් කරන ලද ප්‍රධානීන් ඉවත් නොකර පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ යළි ආරම්භ කළ නොහැකි බව ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමට ඊයේ ( 01දා) පැවැති මාධ්‍ය හමුවෙහිදී අමාත්‍ය විජිත හේරත් විසින්, පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ යළි ආරම්භ කර ඇතැයි කරන ලද ප්‍රකාශය වරදවා වටහා ගැනීමක් බව මහජන ආරක්ෂක අමත්‍යාංශ ආරංචි මාර්ග දක්වයි.

රු. ලක්ෂ 75 ක් වංචා කළ රොහාන් ප්‍රේමරත්න..

මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කරන්නේ 2024 වසරෙහි ජනවාරි මාසයේ දී එවකට මහජන ආරක්ෂක ඇමැති වූ ටිරාන් අලස් විසින් පත් කරන ලද නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නය. අද පවා පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා, එම ආයතනයෙහිම අධ්‍යක්ෂක ලෙස 2022 වසරෙහි දී  රුපියල් ලක්ෂ 75ක වංචාවක් කළ බවට පොලිස් පරීක්ෂණයක් මගින්ම නම් කරන ලද පුද්ගලයෙකි.

එවකට ගෝටාගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ ජෙනරල් ජගත් අල්විස් 2022 ජනවාරිි 28 වන දින මෙම රොහාන් ප්‍රේමරත්න සම්බන්ධයෙන් මතුව තිබූ දුෂණ සිදුවීමක් පිළිබඳව පරීක්ෂා කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට දන්වන ලදී.

මෙම සිදුවීමට අදාළ නයිජිරියානු ජාතිකයින් පිරිසක් අත්අඩංඟුවට ගන්නා ලද්දේ 2021 පෙබරවාරි මාසයේ දීය. එම පරීක්ෂනය පවත්වන ලද්දේ මුල්‍ය හා වානිජ අපරාධ කොට්ඨාශයේ දෙවන  මුල්‍ය අපරාධ විමර්ශන එක්කයෙහි පොලිස් පරීක්ෂක බී.එස්.ජයරත්න ඇතුලු කණ්ඩායමක් විසිනි.

එම වසරෙහිම මාර්තු 10වන දින එම වාර්තාව බී 75416/01/22 දරණ නඩු අංකය ඇතිව ඉදිරිපත් කරන ලදී.

මෙම දූෂණය සම්බන්ධ වූයේ මෙරට දී විදේශීය මුදල් වංචනික ලෙස මුද්‍රණය කරමින්, මත් ද්‍රව්‍ය ජාවාරමෙහි නියුතු විදේශික – දේශීය සොරමුලකට අයත් නඩු භාණ්ඩ වශයෙන් තිබූ රුපියල් ලක්ෂ 75ක් නීති විරෝධී ලෙස නිදහස් කිරීම ය. එමෙන්ම එම සොර මුලට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අනීතික ලෙස බලය යෙදවීම සම්බන්ධයෙනි.

මෙම සොරමුලෙහි විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස රොහාන් ප්‍රේමරත්න කෑ ගසමින් තර්ජනය කළ බවත් තමන් දෙවැනි වර අධිකරණය වෙත ගිය අවස්ථාවෙහි දී මෝසමක් දමා එම සොරමුලෙහි විදෙස් ගමන් තහනම ඉවත් කරවා ගෙන තිබූ බවත් පරීක්ෂනයට ලබා දුන් එක් සාක්ෂියක සඳහන් වේ.

එවකට පොලිස් අධිකාරීවරයකු වූ  රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෝටා විසින් පත් කරන ලද අධ්‍යක්ෂක විය. ඔහු මෙම වංචාවට සම්බන්ධ වූයේ එම තනතුර දරමිනි.

ඔලිවර් ටෝබි ඉකෙකුවිවා ඔලිවර් නම් නයිජීරියානු ජාතිකයකුගේ ප්‍රධානත්වයෙන් යුතු සොරමුල පිළිබඳ පරීක්ෂණයේ දී විදේශීය මුදල් මුද්‍රණයට භාවිතා කරන  උපකරණ සහ හෙරොයින්  ද අත්අඩංඟුවට ගන්නා ලදී.

රොහාන් ප්‍රේමරත්න ගැන අම්මට සිරි වාර්තාව…

මෙම අපරාධය අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව  එම වාර්තාව සඳහන් කර තිබේ. තවද එම වාර්තාව මෙම අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි සහිතව පිටු 10 ක වාර්තාවක් ද ඉදිරිපත් කළේ ය. එම වාර්තාවෙහි 10 වන පිටුවෙහි දක්වා ඇති අවසාන නිගමනය මෙසේය:

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි හිටපු අධ්‍යක්ෂක, වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි කරන ලද කාලය තුල සිදු කරන ලද වංචා සහ දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු කළ මෙම විමර්ශනයේ දී හිටපු අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්න නිලධාරියා විසින් අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි කරමින් සිටි කාලය තුල දී ඒ නිලධාරියා විසින් විෂයගත නිලධාරීන් වෙත අයුතු බලපෑම් සිදු කරමින් ගරු අධිකරණය වෙත අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නිලධාරීන් තර්ජනාත්මක ව පොලඹවා ඇති බවත් ඒ මගින් කො.ප්‍ර.ම/උ ශාලා අංක 05 නඩු අංක 47361/05/21 දරණ නඩුවේ නඩු භාණ්ඩයක් ව පැවති රුපියල් 7.543.110/=ක මුදලක් සැකකරුවන් වෙත මුදා හැරීම සඳහා  කටයුතු කරමින් දූෂිත ක්‍රියාවක යෙදී ඇති බවට අනාවරණය වන බවට කරුණූ ඉදිරිපත් කරමි. මෙම අපරාධය විමර්ශනයේ දී අනාවරණය ඇති මෙම කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂක වශයෙන් රාජකාරි කරන ලද කාලය තුල සිදු කරන ලද වංචා දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නොතීසියක් නිතුක් කරන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඇයද සිටිමි.”

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. ඉලංගසිංහ විසින් මෙම නඩුව පිළිබඳ කරුණූ වාර්තා කිරීමට අධිකරණය හමුවට පැමිණෙන ලෙස අල්ලස් කොමිසමට 2022 සැප්තැම්බර් 05 වන දින නියෝග කළේය.

මෙම නඩුව තවමත් අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවේ ලිපි ගොනු අතර ඇති අතර දැනටමත් අතුරුදහන්වී තිබෙනවා වෙන්නට පුලුවන.

නව ආණ්ඩුව යටතේ තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව තිබෙන්නේ එවැනි නිලධාරියකු යටතේය. එවැනි නිලධාරියකු යටතේ කිසිදු දූෂණ වංචා හෝ අපරාධ පරීක්ෂණයක් යළි ආරම්භ කළ නොහැකි බව පොලිස් ආරංචි මාර්ග දක්වයි.

ඉන්දුක ද සිල්වා..

මෙයට අමතරව අද දක්වාම අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුවෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂන වන්නේ ගෝඨාභය රාජපක්ෂ යටතේ කරන ලද තුන්වැනි ඩීඑන්ඒ පරීක්ෂණක් මගින් සාරා ජෙස්මින් නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ආන්දෝලානාත්මක ස්ත්‍රිය ද සයින්දමරුදු සාමූහික ස්වයං ඝාතනයේදී මිය ගිය බවට තහවුරු කර ගත් බවට වාර්තාවක් ලබා දුන් නිලධාරියා වන ඉන්දුක ද සිල්වාය. ඉන්දුක ද සිල්වාගේ සහෝදරියක් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවටද චෝදනාවක් තිබේ.

සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් යනු පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට ස්වයං ඝාතක ප්‍රහාරයක් එල්ල කළ මෙහොමඩ් හස්තූන්ගේ බිරිඳය.

2020 ජුලි මස 21 දා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර, සාරා ජෙස්මින් නැමැත්තිය සයින්දමරුදු නිවසේ සිදුවූ පිපිරීමෙන් මියගිය බවට තහවුරු වී නොමැති බව පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම හමුවේ කියා සිටියේය .

සයින්දමරුදු ස්වයං ඝාතනය සිදුවූයේ 2019 අප්‍රේල් 26 දාය. එහි තිබී හමු වූයේ මළසිරුරු 16ක කොටස් පමණකි. ඒ සෑම අයකුම ඩීඑන්ඒ පරීකෂණ මගින් හඳුනා ගන්නා ලදී.

එම ස්වයං ඝාතනයෙන් දෙදිනකට පසු කිසිදු ඉරි තැලීමකටවත් පත් නොවූ සාරා ජෙස්මින්ගේ ජාතික හැඳුණුම් පත ස්වයංඝාතනය සිදු වූ නිවසේ මිදුලෙහි තිබී හමු විය. දිවි නසා නොගත් හාදියා හෙවත් සහරාන්ගේ බිරිඳ අත්අඩංඟුවට ගැනුණේ එම සිදුවීමන් පසු දින උදෑසනය. රාත්‍රියෙහි පවා දැකිය හැකි නයිට් විෂන් ගොගොල්ස් පවා තිබූ හමුදා පිරිස් රාත්‍රියෙහි එම නිවසට ඇතුලු වූයේ නැත. සාරා ජෙස්මින්, හදියාට අනුව එම රාත්‍රියේ එම නිවසේ මිදුලෙහි සිටියේය. ඇය පලා ගිය බවට කතාන්තර ගොතන ලද බව පසුව හෙළිදරව් විය.

මෙම ගුප්ත සිදුවීම වසං කිරීම පිනිස, ව්‍යාජ යැයි පෙනෙන තුන්වැනි ඩීඑන්ඒ පරීක්ෂණය බාරව සිටි ඉන්දුක සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවෙහි සිටියදී, පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පරීක්ෂණය යළි ආරම්භ කිරීම විහිලුවක් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සුරේෂ් සලේ තවමත් තනතුරේ..

තවද පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකය එල්ල වී ඇති වත්මන් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේශ් සලේ එම තනතුරෙහිම සිටියදී එවැනි පරීක්ෂණයක් කරන්නේ කෙසේදැයි එම ආරංචි මාර්ග ප්‍රශ්න කරති.

මෙම සියළුම ප්‍රශ්න ගත පුද්ගලයින් එම තනතුරු සඳහා පත් කරන ලද්දේ හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසිනි.

 

Source- Lanka E News

Leave a Reply