EA Info

2024.10.04- අසාත් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න. අනුරට යෝජනාවලියක්

2024.10.04- අසාත් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න. අනුරට යෝජනාවලියක්

චැනල් ෆෝ නාලිකාවෙන් පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය ගැන හෙළිදරව් කළ අසාත් මවුලානා නැමැත්තාගේ ප්‍රකාශයක් සටහන් කරගනිමින් පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරුවන් සහ එය මෙහෙයවූ පුද්ගලයන් සොයා විමර්ශන සිදු කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මූලික කරගත් යෝජනාවලියක්, සමාජය හා සාමයික කේන්ද්‍රය (සීඑස්ආර්) විසින් අද (04) ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතාට භාර දෙනු ලැබුවා.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාගේ අත්සනින් යුතුව බාර දුන් එම යෝජනාවලිය තුළ සත්‍ය හෙළිදරව් කිරීම, හානි පූර්ණය, අපරාධ හා විනය පරීකෂණ සහ අදාල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම යන ප්‍රධාන මාතෘකා 4ක් යටතේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

චැනල් ෆෝ නාලිකාවෙන් චෝදනා එල්ල වූ සුරේෂ් සලේ මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කිරීම, දෙස් විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත පූර්ණ බලැති මිශ්‍ර කොමිසමක් ස්ථාපිත කිරීම, ස්ථිර විමර්ශන කාර්යංශයක් ස්ථාපිත කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුවට පරිබාහිරව අභියෝචක කාර්යාලයක් ස්ථාපිත කිරීමද එම යෝජනා අතර වෙනවා.

මෙම යෝජනාවලිය අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් සම්බන්ධීකරණ ලේකම්වරයා ලිපිය බාර ගත් අතර මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී එහි ලේකම් රවී සෙනවිරත්න මහතා ලිපිය භාර ගනු ලැබුවා.

Source- News19

Leave a Reply