EA Info

2022.10.04 – පාස්කු ප්‍රහාරය පසුබිමෙහි ඇතිවූ සිද්ධීන් සම්බන්දව හිජාස් හිස්බුල්ලා එරෙහි නඩුව

2022.10.04 – පාස්කු ප්‍රහාරය පසුබිමෙහි ඇතිවූ සිද්ධීන් සම්බන්දව හිජාස් හිස්බුල්ලා එරෙහි නඩුව

පාස්කු ප්‍රහාරය පසුබිමෙහි ඇතිවූ සිද්දීන් සම්බන්දව හිජාස් හිස්බුල්ලා සහ සලීම්කාන් මොහොමඩ් ශාකීල්ට එරෙහි නඩුව (HC 78/2021) 2022.10.04 වන අද දිනයේදී පුත්තලම මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව පැවතී නමුත් පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් පෙනී සිටීමට නියමිතව තිබූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට පැමිණ නොතිබිණි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතීඥ නිමේශා ද අල්විස් මහත්මිය පෙනී සිටිමින්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය කොළඹ පිහිටි ත්‍රිපුද්ගල මහාධිකරණයක අද දින පෙනී සිටින බැවින් මෙම නඩුවට අද දින සහභාගි වීමට නොහැකි බව දැනුම් දී ඇති බැවින් ඉදිරි දිනයක් ඉල්ලා සිටින ලදී. කෙසේ නමුත් ඒ සඳහා විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විරෝධතාව දක්වන ලදී. එම විරෝධතා වලදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ව්‍යවස්ථාපිතව ම එම නඩු විභාග සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව සඳහන්ව ඇති පසුබිමක පෙර දිනයේ දීත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය අධිකරණමය හෝ පුද්ගලික කාරණයක් නොවන කරුණක් දක්වා පැමිණීමට නොහැකි බව දැක්වූ බවත්, මූලික සාක්ෂි විමසීම එකම දිනයේ දී දෙදෙනකු විසින් සිදුකර ඇති පසුබිමක හරස් ප්‍රශ්න ඇසීම සඳහා ඉන් එක් කෙනෙකු හෝ නොපැමිණීම යන්න ද හුවා දක්වන ලදී. රජයේ නීතීඥ තුමියගේ කරුණු දැක්වීම් වල දී ඇය සතුව මෙම නඩුවෙහි නඩු ගොනුව ද නොමැති බව දක්වන ලදී. සියලු පාර්ශවයන්ගේ කරුණු විමසූ නදී සුවන්දුරුගොඩ මහාධිකරණ විනිසුරුතුමිය රජයේ නීතීඥ තුමිය අතෙහි නඩු ගොනුව නොමැති වීම නිසාත් හරස් ප්‍රශ්න ඇසීමෙන් පැමිණිල්ලට අගතියක් විය හැකි නිසාත්, මෙම නඩුවේ නඩු විභාගයට දින ලබා දීමේදී ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව පිළිබඳ දැන සිටියේ නැති බව පෙනී යන නිසාද චූදිතයන්ට අගතියක් නොවන පරිදි කෙටි දිනයක් ලබාදෙන ලෙස දන්වා සිටිය ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුන් ලබාදී ඇති දින (free dates) අනුව මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා 2022 වර්ෂයේ නොවැම්බර් මස 25 වන දිනට නියම කරන ලදී.

එමෙන්ම මෙම නඩුව විමර්ශන අවස්ථාවේ දී පැමිණිල්ලේ සාක්ෂි අංක 1 සහ 2 කොටුව මහේස්ත්‍රාත් වරයාගේ නිල මැදිරිය තුළ කරන ලද රහස් ප්‍රකාශ ජන මාධ්‍ය වෙත අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට ලබාදී ඇති ප්‍රකාශය ඇතුළත් මුල් තොරතුර අධිකරණයට ගෙන එන ලෙසද විනිසුරුතුමිය නියෝග කරන ලදී.

 

Leave a Reply