EA Info

2023.07.11-පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට ගොනුකල නඩුව කල්තබයි

2023.07.11-පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට ගොනුකල නඩුව කල්තබයි

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ චෝදනා පත්‍ර වැඩිදුර කියවා දීම කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද නියෝග කළා.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් පත් කර තිබුණේ නැහැ.

බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ එම විත්තිකරුවන් තුන්දෙනා වෙනත් නඩු විභාගයක් සඳහා මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව වැඩිදුර චෝදනා පත්‍ර කියවා දීම අගෝස්තු මස 7, 9, 10 සහ 11 යන දිනවලට කල් දමන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අද නියෝග කළා.

එමෙන්ම මෙම නඩුවේ නඩු භාණ්ඩ වශයෙන් නම්කර තිබෙන ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් මඩකලපුව මහාධිකරණයේ නඩු විභාගයක් සඳහා අවශ්‍යව තිබෙන බවත් පැමිණිල්ල විසින් දැනුම් දීමෙන් අනතුරුව එම ගිනි අවි දෙක අවශ්‍ය අවස්ථාවල අදාල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර සිටියා. 

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස්දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.

Source- Neth News

 

Leave a Reply