EA Info

2023.08.04-පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් පූජිත් රාජකාරිය පැහැරහැරලා

2023.08.04-පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් පූජිත් රාජකාරිය පැහැරහැරලා

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රාජකාරිය පැහැරහැර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (3) දන්වා සිටියේය. එම මහාධිකරණ නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද අභියාචන පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා මේ බව සඳහන් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ අභියාචන පෙත්සම් කැඳවන ලදි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිදහස් කරමින් දෙන ලද මහාධිකරණ නඩු තීන්දුව දෝෂ සහිත බව කීය. සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායම සිදු කළ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබූ බවත්, එම කණ්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරමින් පැවැති කටයුතු සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් ලැබී තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය. එසේ ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූයේ නම් මෙම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව තිබූ අතර එලෙස ක්‍රියාත්මක නොවීම මඟින් හිටපු පොලිස්පතිවරයා රාජකාරිය පැහැර පැහැරහැරීමක් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මේ බෝම්බ පිපිරීම සිදු කළ අයගේ නම් පවා ඒ වන විට ලැබී තිබූ බවත්, එසේ තොරතුරු ලැබී තිබියදීත් නිසි පියවරක් නොගැනීම මේ බෝම්බ පිපිරීම් සිදු කිරීමට පිටුවහලක් සහ පහසුවක් වූ බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේ ය. කෙසේ වුවද පැමිණිල්ලේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව ඒ සාක්ෂි නිසි ලෙස විශ්ලේෂණය කිරීමකින් පවා තොරව විත්තිවාචක නොකැඳවාම මේ විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල කටයුතු කර ඇති බවත්, එය නීතියට පටහැනි බවත් හෙතෙම සඳහන් කළේය. එහිදී මහාධිකරණ විනිසුරු මඬුල්ල මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් පූර්ව නිගමනයක සිට කටයුතු කර ඇති බව පෙනී යන බවද ඔහු සඳහන් කළේය. මෙකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් බලරහිත කර, වෙනත් විනිසුරුවරුන් හමුවේ මේ නඩුව නැවත විභාග කරන ලෙස නියෝගයක් කරන්නැයි ඒ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් රොෂාන් දෙහිවල මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මහාධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි නිසි ලෙස සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මහාධිකරණය විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශ කර ඇති බවයි. යම් දෙයක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබූ විට එය ප්‍රසිද්ධ කිරීමට පෙර බොහෝ කරුණු සලකා බැලීමට සිදු වන බවද නීතිඥවරයා සඳහන් කළේය. පාස්කු ඉරිදාව කතෝලික ජනතාවගේ වැදගත් ආගමික දිනයක් වන අතර, එදින ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කලින් තොරතුරු දී තිබුණේ නම් අනවශ්‍ය කලබලයක් ඇති වනු ඇති බවත්, ජාතීන් අතර අසමඟියක් සහ අනවශ්‍ය කලබලයක් ඇති වීමට හැකියාව තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වූ අවදානම පිළිබඳ නිලන්ත ජයවර්ධන මහතා මහාධිකරණය හමුවේ දී තිබූ සාක්ෂියකද සඳහන්ව තිබූ බවත් කෙසේ වුවද මහාධිකරණ නඩු විභාගයක දී ඉදිරිපත් වන සියලු සාක්කි කැඳවීමට විනිසුරුවරයා බැඳී නොසිටින බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම නඩුවට අදාළව පැමිණිල්ල විසින් ඉදිරිපත් වූ සාක්කි සලකා බැලීමේදී චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම මත විත්තිකරුවන් නිදහස් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම කල් තැබීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරුන් වන සුදර්ශන සිල්වා මහතා සහ දිලීප පීරිස් යන මහත්වරු සමඟ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා විත්තිකාර, වගඋත්තරකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ ප්‍රියංක ගුණරත්න මහතා සමඟ නීතිඥ රොෂාන් දෙහිවල මහතා විත්තිකාර, වගඋත්තරකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

Source-  Dinamina

Leave a Reply