EA Info

2023.08.04-පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නෙමෙයි

2023.08.04-පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නෙමෙයි

සිංගප්පූරුවේ නැංයැං තාක්ෂණික විශ්වවිද්‍යාලයයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නිර්මාතෘ, මහාචාර්ය රොහාන් ගුණරත්න

මහාචාර්ය රොහාන් ගුණරත්න සුප්‍රසිද්ධ මේජර් ජෙනරාල් රපායෙල් එච්. වැන් ඩෙමන් සම්මානලාභියෙකි. ඔහු ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ඉරාකය, යේමනය, සෞදි අරාබිය වැනි රටවල මුස්ලිම් අන්තවාදය පිළිබඳ තොරතුරු ගවේෂණයට සම්බන්ධ වූවෙකි. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් විද්වතෙකි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ දීර්ඝ ලෙස කරුණු විමර්ශනයක් කළ ඔහු ඒ සඳහා අයිඑස්අයිඑස් ශ්‍රී ලංකා ශාඛාවේ න්‍යායාචාර්ය හා නියෝජ්‍ය නායක මොහොමඩ් නවුෆර්, මිලිටරි අංශයේ ප්‍රධානී මිල්හාන්, සහරාන් හෂීම්ගේ වැන්දඹු බිරිය ෆාතිමා හාඩියා ඇතුළු රැඳවූවන්, ඔවුන්ගේ පවුල්වල උදවියගෙන් හා පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් රැසක් සමඟ සාකච්ඡා කර නොබෝදා ‘sri lanka easter sunday massacre’ නමින් කෘතියක් එළිදැක් වූවේය. ත්‍රස්තවාදය මර්දනයට ගතයුතු පියවර ගැන පාස්කු ඉරිදා ප්‍රහාරය ඇසුරෙන් ඔහු දැක්වූ අදහස් මෙසේය.

ශ්‍රී ලංකා රජය 2009දි ලෝකයේ දරුණුම ත්‍රස්ත සංවිධානය වන එල්ටීටීඊය විනාශ කිරීමට සමත් වුණා. නමුත් එයින් වසර 10කට පසු නැවත මුස්ලිම් අන්තවාදයක් මතු වුණා. මෙයට හේතුව කුමක්ද?

අප ද්‍රවිඩ ත්‍රස්තවාදයෙන් සෑහෙන්න දුක්විඳ තිබෙනවා. ඒ වුණත් අපට ජාතික ආරක්ෂාව පිළිබඳ පනතක් නැහැ. එවැනි පනතක් ගෙනෙන්න ඕනෑ. ඊට අමතරව බුද්ධි අංශ පිළිබඳ පනතක් නැහැ. ඒ නිසා විවිධ අතපෙවීම් වෙනවා. දේශපාලන නායකයන් හමුදා බුද්ධි අංශවල ක්‍රියාකාරකම්වලට අත පෙවීම නොකළ යුතු දෙයක්.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව වැනි ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කළ රටවල් ජාතික ආරක්ෂාව රැකෙන ආකාරයේ නීති සංශෝධන ගෙනැවිත් තිබෙනවා. අපට ඒ රටවලින් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. සෑම ප්‍රධාන රටකම තිබෙන ජාතික ආරක්ෂක කවුන්සිලවල සටහන් පසු විපරම් කිරීමක් කෙරෙනවා. නමුත් අපේ ජාතික ආරක්ෂක කවුන්සිලයට ලේකම් කාර්යාලයක් නැහැ. මේ ගැටලු නැවත අන්තවාදයක් මතු වෙන්න බලපෑවා.

ප්‍රහාරයේ චුදිතයන් හඳුනා ගැනීම මෙන්ම නැවත මෙවැනි ව්‍යසනයක් සිදු නොවීමට අවශ්‍ය පියවර නිර්දේශ කිරීම ද පාස්කු අත්දැකීමෙන් අප උගතයුතු පාඩම් අතර වෙනවා. ඒ සඳහා ඔබේ යෝජනා මොනවාද?

පාස්කු ඉරිදා කොමිසම් වාර්තාව සෑම පුරවැසියකුම කියවිය යුතු ලියැවිල්ලක්. එහි සභාපති විනිසුරු ජනක් ද සිල්වා පුළුල් විමර්ශනයක් කර වටිනා නිර්දේශ යෝජනා කර තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පාරම්පරික මුස්ලිම් සංස්කෘතිය ආරක්ෂා කරන අතරම අන්තවාදී විදේශ ආගමික නායකයන්ට මෙරටට පැමිණිමට ඉඩ දිය යුතු නැහැ. නිදහසේ විදේශ අන්තවාදි මතවාද ව්‍යාප්ත වෙන්න ඉඩ දුන්නොත් මෙරට සිටින මුස්ලිම් ජාතිකයන් විදේශ රටවලට හා ඒ සංවිධානවලට ගොදුරු වෙනවා. ඔවුන් තමන්ගෙ මවුබිම විදියට ඒ රටවල් සලකන පරිසරයක් ඇති වෙන්න පුළුවන්.

අපේ රටේ ජීවත් වන පාරම්පරික මුස්ලිම් ජාතිකයන් අනෙකුත් ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් වෙනවා. අරාබියේ සිට පැමිණි ඔවුන් මේ රටේ සිංහල කාන්තාවන් විවාහ කරගෙන මේ රටේ පදිංචිකරුවන් වුණා. විදේශීය අන්තවාදී ආගමික මතවාද, දේශකයන්, පොත්පත් ආදියට මෙරටට එන්න ඉඩ දුන්නොත් බරපතළ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔවුන් ජාතීන් අතර සහයෝගයට හානිකර අදහස් ව්‍යාප්ත කරනවා.

ඒ නිසා විදේශයන්ගෙන් මෙරටට ගෙන්වන ආගමික පොත්වල අඩංගු කරුණු ගැන අධීක්ෂණය කළ යුතුයි. ඕල් සිලෝන් ජමයතුල් උලමා සංවිධානය, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව (ඩී.එම්.ආර්.සී), ආරක්ෂක අමාත්‍යාංශය ආනයනය කරන ආගමික පතපොත ගැන අවධානය යොමු කළ යුතුයි. අන්තවාදී ආගමික ඉගැන්වීම් අඩංගු පොත් විපරමකින් තොරව සා/පෙළ හා උ/පෙළ විෂය නිර්දේශයලට ඇතුළත්කර තිබෙනවා. ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට මා මේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්වත් කළා.

ඉන්පසු ඔවුන් එම කොටස් ඉවත් කළා. අන්තවාදී අදහස් ව්‍යාප්ත වෙන්න ඉඩ දුන්නොත් තව අවුරුදු 15 -20 කින් තවත් සහරාන් කෙනෙකු බලාපොරොත්තු වෙන්න වෙනවා. අප ඒ ඉඩ සම්පූර්ණයෙන්ම නැති කළ යුතුයි. මෑතකදි ඉස්ලාම් සංවිධාන කිහිපයක තහනම ඉවත් කළා. මේවා නොකළයුතු දේවල්. වසර ගණනාවක සිට කෙරුණු රැඩිකල්කරණ වැඩසටහනක් අවු:4කින් වෙනස් කරන්න බැහැ. මේක අද හෙට නතර වෙන සටනක් නෙමෙයි. ක්‍රමානුකූලව, දිගටම කරගෙන යා යුතු දෙයක්. පුනරුත්ථාපන වැඩසටහන යටතේ නිදහස් කළ අය සමාජයට මුදාහැරියත් ඔවුන් කරන කියන දේ රජය අධීක්ෂණය කළ යුතුයි. ඔවුන් මිය යන තෙක් ඒ අයගේ වැඩ අධීක්ෂණය කළ යුතුයි.

මෙතැනදි ජාතික ආරක්ෂාව හා මාධ්‍ය නිදහස කියන කාරණය අතර පරස්පරයක් ඇති වෙනවා නේද?

මාධ්‍යයට නිදහස දිය යුතුයි. එහෙත් අසත්‍යය ප්‍රකාශ කරන්න දෙන්න බැහැ. අසත්‍යය ප්‍රකාශ කරන තැනැත්තන් විමර්ශනයකර ඔවුනට විරුද්ධව නඩු පැවරීම කළ යුතුයි. දුස්තොරතුරු නිපදවීම, බෙදාහැරීමට විරුද්ධව නීතිමය පියවරගත යුතුයි. දුස්තොරතුරු නිසා බොරුවෙන් ජීවත්වෙන කණ්ඩායමක් හැදෙනවා. ඒවගේ පිරිසකට ඉඩ නොදිය යුතුයි. අයිඑස්අයිඑස් වෙබ් අඩවිවලට පිවිසීමට ඇති ඉඩ අවහිර කළ යුතුයි. මේවා නැරඹිම නිසා ඔවුන් රැඩිකල්කරණය වුණා. ජාතික ආරක්ෂාව කිසිවකට දෙවැනි දෙයක් නෙමෙයි.

මද්‍රසා පාසල්වල අධ්‍යාපනයේ වෙනසක් සිදු කළ යුතු යයි සිදුවීම වූ දිනවල ලොකුවට කතා වුණා. දැන් එම කතිකාව යට ගිහින්. එහි අවශ්‍යතාවක් තිබේද?

ඉස්ලාම් දහම ඉගැන්වීම මද්‍රසා පාසල්වල අරමුණයි. එහි ගැටලුවක් නැහැ. ඒ අතර ක්‍රිස්තියානි ආගම හා ඉස්ලාම් ආගම අතර තිබෙන මිත්‍රත්වය සුළුවෙන් හෝ ඉගැන්විය යුතුයි. නබිනායකතුමා මදිනාවලට පැමිණි විට ඔහු ක්‍රිස්තියානි යුදෙව්වන් සමඟ මදිනා ප්‍රඥප්තිය නමින් ගිවිසුමක් අත්සන් කළා. එය ලෝකයේ පැරණිම දේශපාලන ගිවිසුමයි. දුරාතීතයේ මුස්ලිම්වරු ක්‍රිස්තියානිවරු සමඟ හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන ගියා. මේ දැනුම ඉගැන්විය යුතුයි.

මේවාට අමතරව ගණිතය, විද්‍යාව, දර්ශනය, විචාරාත්මක චින්තනය, තර්කශාස්ත්‍රය, සිවිල් අධ්‍යාපනය හා වෙනත් ආගම් ඉගැන්විය යුතුයි. එහෙම නැත්නම් ඒවායින් බිහිවන ශිෂ්‍යයන් සාමාන්‍ය ළමයකු නෙමෙයි. ඔහුට දැනුමක් තිබෙන්නේ ආගම ගැන පමණයි.

ආගමික අධ්‍යාපනයෙන් පමණක් රැකියාවකට යන්න බැහැ. ඒ නිසා පොදු විෂය නිර්දේශයක් හඳුන්වාදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලනයට ඇතුළු කළ යුතුයි. මේ තියෙන මද්‍රසා පාසල්වලින් අනෙක් ආගම් ගැන සුළු හෝ තැකීමක් ඇති වෙන්න බැහැ. එවිට මේවායින් බිහිවන්නන් අන්තවාදීන් නැත්නම් මූලධර්මවාදීන් වෙන්න පුළුවන්. ඉන්පසු ඔවුන් ත්‍රස්තවාදීන් වෙන්න පුළුවන්.

කටුවාපිටිය බොම්බකරු වන මෙහොම්මද්දු හස්තුන්ගේ බිරිය වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහාත් සාරා ජැස්මින් සයින්දමරුදු පිපිරීමෙන් මිය ගියේදැයි තහවුරු කරගැනීමට DNA පරීක්ෂණ 3ක් කිරීමට සිදු වුණා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ඇගේ සියලුම ලේඛන මා පරීක්ෂා කළා. සාරා පුලස්තිනි මුලින් ශ්‍රී ලංකා තවුෆික් ජමාත් සංවිධානයට බැඳී තිබෙනවා. ඇය ඉස්ලාමය වැලඳගත් තැනැත්තියක්. කටුවාපිටිය ඇතුළු සියලුම බෝම්බ හැදුවේ ඇගේ සැමියා. 2019 අප්‍රේල් 26දා සයින්දමරුදු ප්‍රහාරයෙන් ඇය මිය ගියා. මම එතැන පරීක්ෂා කරන්න ගියා. එතැන බරපතළ ප්‍රහාරයක් වුණා. ඒ තැන දැකපු කිසිම කෙනෙක් ඇය බේරෙන්න ඇති කියලා හිතන්නෙ නැහැ. හාදියා හා ඇගේ දුව බේරුණේ ඔවුන් වෙනත් කාමරයක සිටි නිසයි.

ඩීඑන්ඒ සාම්පල් ගැනීම විස්තීර්ණ ක්‍රමයට කළ යුතුයි. ඔවුන් පළමු අවස්ථා දෙකේ නිවැරදි ආකාරයට සාම්පල් ගෙන තිබුණේ නැහැ. එවිට තුන්වැනි වර ගැනීමට සිදු වෙනවා. එහි කිසිම වරදක් නැහැ. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සාම්පල් ගැළපෙන බව තහවුරුකර තිබෙනවා. තුන්වැනි වර නිවැරදි ආකාරයට සාම්පල් ගත්විට ඒවා ජීව විද්‍යාත්මක මවක හා දරුවකු අතර පවතින සම්බන්ධය සනාථ කළා. ඇය මියගිය බව 100%ක් තහවුරුයි. ඇය දුටු බවට සමහරු බොරු ප්‍රකාශ කර තිබුණා. සීසීටීවී ආධාරයෙන් වැඩිදුර පරීක්ෂණ කරන විට ඒවා අසත්‍යය බව ඔප්පු වුණා.

දේශීය හා විදේශිය ත්‍රස්තවාදී සංවිධාන ගැන දීර්ඝ කාලයක සිට ඔබ අධ්‍යයනය කරනවා. ඒ අත්දැකිම් අනුව ප්‍රස්කු ප්‍රහාරය දේශපාලන අරමුණක් ඇතිව සිදු කළ එකක් බවට ඇති මතය ගැන ඔබේ අදහස කුමක්ද?

සහරාන්ගේ අවසාන වීඩියෝව දැක්පු කිසිම කෙනෙක් ‍පාස්කු ප්‍රහාරය දේශපාලන අරමුණක් ඇතිව කළ ප්‍රහාරයක් කියන කතාව විශ්වාස කරන එකක් නැහැ. එයට සීඅයිඒ, මොසාඩ්, රෝ හෝ දේශීය වෙන කිසිම සංවිධායනයක් සම්බන්ධ නැති බව මේ වීඩියෝව දකින ඕනෑම කෙනෙකුට තේරෙනවා. “මා මේ ප්‍රහාරය කරන්නෙ අල්ලාහ් දෙවියන්ට දෙන තෑග්ගක් වශයෙන්” කියලා සහරාන් මේ වීඩියෝවෙ පැහැදිලිව කියනවා. “මේ ප්‍රහාරය ආගමික රාජකාරියක්” කියලා සහරාන් එතැනදි කියනවා. ඒ අදහස වැරැදියි. අහිංසකයන් මරන්න කියලා කුරානයේ කොතැනකවත් කියලා නැහැ. සහරාන් ලාංකික මුස්ලිම් ජාතිකයෙක් විදියට හිතන අයෙක් නෙමෙයි. ඔහු හිතන්නේ අන්තවාදී මැදපෙරදිග මුස්ලිම් ජාතිකයන් හිතන ආකාරයටයි. සෞදි අරාබියාව වැනි රටවල් දැන් වෙනස් වෙමින් යනවා. නමුත් ඒ මතවාදය පිළිගන්නා මෙහෙ ජීවත් වෙන අය තවමත් කල්පනා කරෙන්නෙ ඒ ආකාරයටයි.

මේ වගේ ක්‍රියා මඟින් ස්වර්ගයට යන්න පුළුවන් කියලා සහරාන්ට විශ්වාසයත් තිබුණා. දිගන, දර්ගා නගරයේ සිදු වූ සිදුවීම් ගැන ඔහුට බරපතළ වෛරයක් තිබුණා. අල්ලාහ් දෙවියන්ට අපහාස කිරීම හා සමහර පල්ලිවලට පහරදීම ගැන ඔහු තරහෙන් හිටියෙ. ඒ නිසා ඔහු මේ ප්‍රහාරය කළා.

මෙවැනි සිදු වීම් නැවත ඇති වීම වැළැක්විය යුතුයි. ඒ සඳහා කිසිම ආගමකට අපහාස කරන මතවාද ඇත් වෙන්න ඉඩ දිය යුතු නැහැ. කළු ජූලිය වැනි වාර්ගික කලබල ඇති කරන්න දෙන්න හොඳ නෑ. ඒවා ඇති කළොත් නැවත ත්‍රස්තවාදයක් ඇති වෙන්න පුළුවන්.

වෙනත් ආගමිකයන් වන්දනා කරන ප්‍රතිමාවලට පහර දුන්නෙ ආගමික ගැටුම් ඇති කරන අපේක්ෂාවක් ඔවුන්ට තිබුණ නිසාද?

‍අයිඑස්අයිඑස් සංවිධානයේ මහ මොළකරු වන නවුෆර් මව්ලවි සමඟ මා සාකච්ඡා කර තිබෙනවා. සහරාන්ට මුස්ලිම් හා මුස්ලිම් නොවන පිරිස් අතර ප්‍රශ්නයක් ඇති කිරීමේ වුවමනාවක් තිබුණ බව ඔහු මා සමඟ කිව්වා. මේ කාරණය සාදික්ගෙන් ප්‍රශ්න කළ විටත් හෙළි වුණා. ඔවුන්ට සෑම දිස්ත්‍රික්කයකම ගැටුම් ඇති කිරීමේ සැලැස්මක් තිබුණා.

වනාතවිල්ලුවෙ මෙහෙයුම නොකෙරුණා නම් සෑම දිස්ත්‍රික්කයම පහරදීම් කෙරෙන්න තිබුණා. මෙතැන කිසිම කුමන්ත්‍රණයක් නොතිබුණ බව පැහැදිලිය. මේ වගේ සිද්ධි මුස්ලිම් අන්තවාදය මතුවුණු සෑම තැනකම සිදුව තිබෙනවා. ලෝකයේ වෙනත් රටවලත් වෙලා තිබෙනවා. බින්ලාඩන් හා ඔහුගෙ දෙවැනියා වන අයිමන් අල් – සවාහිත් 9/11 ප්‍රහාරයේදි මේ කතාවම කිව්වා. 9/11 කොමිසම් වාර්තාවෙ ඔවුන්ගෙ අරමුණ පැහැදිව දක්වා තිබෙනවා. බාලි, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, එංගලන්තය, පැරිස් වගේ තැන්වල ප්‍රහාර එල්ල කළ විටත් ඔවුන් තමන්ගෙ අරමුණ මොකක්ද කියලා කිව්වා. එහෙමනම් ඒවත් දේශපාලන කුමන්ත්‍රණ වෙන්න ඕනෑ.

මොළයේ ප්‍රශ්නයක් නැත්නම් වුණේ මොකක්ද කියලා පැහැදිලියි. මේ සෑම සිදු වීමකින් පසුව ඒ රටවල ඔත්තු සේවා සංවිධාන වාර්තා නිකුත් කර තිබෙනවා. මෙයට අමතරව ප්‍රහාරයට සම්බන්ධ යයි සැකකරන ත්‍රස්තවාදීන් ද වගකීම භාරගෙන තිබෙනවා. මේ මතය බිඳින්න ඕනෑ නිසා මම සහරාන්ගේ අවසාන වීඩියෝ පටය ප්‍රසිද්ධ කළා. සහරාන් හා ඔහුගේ අනුගාමිකයන් කැප වුණේ අපේ රටට, රජයට හෝ අපේ නායකයන් වෙනුවෙන් නෙමෙයි. අයිඑස්එස් සංවිධානයේ නායක අබුබකර් අල් බැක්ඩෑඩි වෙනුවෙන්. ප්‍රහාරයට පෙර සහරාන් නිකුත් කළ වීඩියෝවෙන් මේ බව හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියන්න බැහැ.

Source- Dinamina.lk

Leave a Reply