EA Info

2024.03.01- නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා පෙත්සමක්

2024.03.01- නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා පෙත්සමක්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

සමාජීය හා සාමායික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ ගරු ජූඩ් වර්නන් රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ දේවගේ සූරාජ් නිලංග යන අය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා යෙදී තිබූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු වගඋත්තරකාර නිරන්ත ජයවර්ධන මහතා වෙත ලැබී තිබූ බවය.

විදේශීය බුද්ධි සංවිධානයකින් 2019 වසරේ අප්‍රේල් මස 4 වනදා එම තොරතුර නිලන්ත ජයවර්ධන මහතාට ලැබී තිබූ බවත් ඔහු ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ නඩු විභාගයේදී සාක්ෂිවලින් අනාවරණය වූ බවත් පෙත්සමේ සඳහන් වේ.

එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත්කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින්ද  වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා මෙම සිද්ධියට සෘජුව වගකිය යුතු බව නිර්දේශ නිකුත් කර තිබෙන බවත් එහි පෙන්වා දී තිබේ.

ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන්ද  වරදකරු කෙරුණු බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබූ බවත් පෙත්සමේ සිහිපත් කර තිබේ.

එසේම වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර ගැනීම නිලන්ත ජයවර්ධන මහතා විසින් පැහැර හැර ඇති බව තහවුරු කරන සාක්ෂි කොපමණ ඉදිරිපත් වී තිබුණත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වගඋත්තරකරුවන් විසින් මෙතෙක් කටයුතු කර නොමැති බවත් පෙත්සම්කරුවෝ චෝදනා කළහ.

ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව නිලන්ත ජයවර්ධන මහතා අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නීතියෙ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Source- Ada Derana 

Leave a Reply