EA Info

2024.03.01- පාස්කු ප්‍රහාරය: හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව පෙත්සමක්

2024.03.01- පාස්කු ප්‍රහාරය: හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව පෙත්සමක්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

සමාජීය හා සාමායික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ ගරු ජූඩ් වර්නන් රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත් වූ සුරාජ් නිලංග යන පිරිස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි‍.

වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා ය.

2019 වසරේ අප්‍රේල් මස 21 වන දාට යෙදී තිබූ පාස්කු ඉරු දිනයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිතව තිබූ බවට වූ බුද්ධි තොරතුරු නිලන්ත ජයවර්ධන වෙත ලැබී තිබූ බවට පෙත්සම්කරුවෝ අභියෝග කරති.

විදේශීය බුද්ධි සංවිධානයකින් 2019 වසරේ අප්‍රේල් මස 4 වන දා එම තොරතුර නිලන්ත ජයවර්ධනට ලැබී තිබූ බවත් ඔහු ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ නඩු විභාගයේදී සාක්ෂිවලින් අනාවරණය වූ බවත් පෙත්සමේ සඳහන් වේ.

එසේ ම පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත්කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින්ද වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා මෙම සිද්ධියට සෘජුව වගකිය යුතු බව නිර්දේශ නිකුත් කර තිබෙන බවත් එහි පෙන්වා දී තිබේ.

ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන්ද වරදකරු කෙරුණු බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබූ බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

එසේ ම නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කරනු ලැබූ බවත් පෙත්සමෙහි දැක්වේ.

ඒ අනුව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට එරෙහිව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

නිලන්ත ජයවර්ධන අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නීතියෙ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Source- Mawbima

Leave a Reply