EA Info

2024.09.17- පාස්කු ප්‍රහාර විමර්ශනයට විදෙස් විනිසුරන් සහිත කොමිසමක්

2024.09.17- පාස්කු ප්‍රහාර විමර්ශනයට විදෙස් විනිසුරන් සහිත කොමිසමක්

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කිරීම සඳහා සාක්කි ඔස්සේ විමර්ශනය කිරීමේ හැකියාව ඇති දෙස් විදෙස් විනිසුරන්ගෙන් සමන්විත පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ යුතු යැයි සමාජය හා සාමයික කේන්ද්‍රය (CSR) සියලු ජනාධිපති අපේක්ෂකයන් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටී. එසේම දෙස් – විදෙස් පරීක්ෂකයන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන කාර්යාලයක්ද පිහිටුවිය යුතු යැයි එහි අවධාරණය කර ඇත.

ජනාධිපතිවරණයෙන් බලයට පත්වුවහොත් මෙම යෝජනා ක්‍රියාත්මක කරන බවට වූ අභිප්‍රාය ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත්කරන ලෙසද සමාජය හා සාමයික කේන්ද්‍රය සියලු ජනාධිපති අපේක්ෂකයක් ගෙන් ඉල්ලා ඇත. වර්තමාන නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති ළබැඳියාවන් අතර ගැටුම වැළැක්වීම සඳහා නඩු පැවැරීමේ සහ විමර්ශන අධීක්ෂණය කිරීමේ කටයුතු සඳහා විශේෂ අභිචෝදක කාර්යාලයක් පත්කරන ලෙසද එමඟින් යෝජනා කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීම සඳහා පත්කළ විජිත් මලල්ගොඩ කමිටුවේත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේත් සියලු වෙළුම් හා වාර්තා ප්‍රසිද්ධ කළ යුතු යැයිද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව නිකුත් කිරීමෙන් පසු අනාවරණය වූ කරුණු පිළිබඳවත් විශේෂ විමර්ශනයක් කළ යුතු යැයිද එහි සඳහන් වේ.

එසේම මෙම කොමිසමේ සාමාජිකයන් පත්කිරීමේදී ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලමින් ආරම්භයේ සිට මැදිහත් වූ සංවිධාන හා ක්‍රියාකාරීන්ගේ යෝජනාද ලබාගන්නැයි ඉල්ලා සිටින එම කේන්ද්‍රය කොමිසමේ සමස්ත සාක්ෂි විභාගය දෙස් – විදෙස් නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණ මැද ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීමට අවස්ථාව සැලැසිය යුතු යැයිද යෝජනා කර ඇත.

විමර්ශන ක්‍රියාවලියේ ප්‍රගතිය ගැන මාසිකව තෛ්‍රභාෂාවෙන් තොරතුරු ඉදිරිපත් කළ යුතු යැයිද එහි සඳහන් වේ. වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුල්වලට මේ ප්‍රහාරයෙන් වූ ආර්ථික බලපෑමද සැලකිල්ලට ගෙන වන්දි මුදල් තීරණය කළ යුතු යැයිද විමර්ශන හේතුවෙන් පළිගැනීමට ලක්වූ නිලධාරීන්ට යුක්තිය ඉටුකර වන්දි හා සහන ලබාදිය යුතු යැයි ද එම කේන්ද්‍රය ඉල්ලා සිටී.

ප්‍රහාරයෙන් පසු දේශපාලන හේතු මත අත්අඩංගුවට ගත් පිරිස්වලට සහන ලබාදී වාර්ගික ගැටුම් මත වූ ප්‍රහාරවල වින්දිතයන්ටද වන්දි ලබාදිය යුතු යැයිද නීතිපතිවරයාගේ භූමිකාවේ ළබැඳියාවන් අතර ගැටුම් පවතින බැවින් නඩු මෙහෙයවීම හා නඩු පැවරීම් සඳහා විශේෂ අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කළ යුතු යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ. සමාජීය හා සාමයික කේන්ද්‍රය වෙනුවෙන් එහි  අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා විසින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබ ඇත.

Source- Mawbima

Leave a Reply