EA Info

2024.05.28- පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම ; නිලන්ත වෙනුවෙන් නීතිපති පෙනී නොසිටියි

2024.05.28- පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම ; නිලන්ත වෙනුවෙන් නීතිපති පෙනී නොසිටියි

පාස්කු ප්‍රහාර වලක්වානොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියේාජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇතී රිට් පෙත්සමට තමන් පෙනී සිටින්නේ පොලිස්පති සහ නීතිපතිවරයා වෙනුවෙන් පමණක් බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අභියාචනාධිකරණයට අද (28) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා දෙවැනි වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටි බවට දැනුම් දුන්නේ මතකදී බැවින් නඩුවට සූදානම් වීමට කල් අවශ්‍ය බවත්, සීමිත විරෝධතා ගොනු කිරීමට කාලය අවශ්‍ය බවත් නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා දැනුම් දුන්නේය.

සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ වින්දිත පියකු වන සුරාජ් නිලංග යන පිරිස ගොනු කළ මෙම රිට් පෙත්සම අද කැඳවූයේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකාරුණා සහ ධම්මික ගණේපොල යන මහත්වරුන් ඉදිරියේය.

නීතිපතිවරයා ද නඩුවට අදාලව සීමිත විරෝධතා ගොනු කර නොතිබුණු අතර සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට ද කාලය අවශ්‍ය බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා දැනුම් දුන්නේය.

නීතිපතිවරයා සීමිත විරෝධතා ගොනු කරන්නේ නම් ඒ සමග දැනට නිලන්ත ජයවර්ධන වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න නීතිපතිවරයා දැනුම් දෙන්නේ නම් එය මෙම නඩුවට පහසුවක් වනු ඇතැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය දැනුම් දුන්නාය.

මෙම කරුණු සලකා බැලූ අධිකරණය සීමිත විරෝධතා ඇත්නම් ගොනු කිරීම සඳහා වගඋත්තරකාර පොලිස්පතිට, නීතිපතිට සහ නිලන්ත ජයවර්ධන සති තුනක කාලයක් ලබා දුන් අතර ඊට ප්‍රතිවිරෝධතා ඇත්නම් දෙසතියක් තුල ගොනු කරන ලෙස පෙත්සම්කරුවන්ට දැනුම් දුන්නේය.

නඩුව සලකා බැලිම සඳහා ජූලි 25 වැනිදා කැඳවීමට නියෝග කෙරෙිණි.

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ වගකීමක් නිලන්ත ජයවර්ධන මහතාට ඇති බවට වන සාක්කිද සමග තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවත්, එම පැමිණිල්ලට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා කටයුතු කර නැති බවත්, එසේ හෙයින් නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිට සහ නීතිපතිට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමේ පළමු ඉල්ලීම මගින් ඉල්ලා තිබේ.

එසේම පාස්කු ප්‍රහාරයට අදාල මූලික අයිතිවාසිකම් නඩුවලදී ලබා දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මියගේ උපදෙස් පරිදි ලිනුරි මුණසිංහ, ටාහිරා ලෆාර් සමග නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙනී සිටියාය.
නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති ණීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටි අතර පොලිස්පති සහ නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

Source- What News

Leave a Reply